1. 3. 5.
දෙවැනි අපරිජාන සූත්‍රය
27. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල මනාව නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට නුසුදුසුවේ. මහණෙනි, කවර නම් සියල්ලක් මනාව නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, මාර්‍ගයෙන් පහනොකරන්නේ, දුක් නැසීමට නුසුදුසු වේද?”
“මහණෙනි, යම් ඇසකුත් වේද, යම් රූපයෝත් වෙත්ද, යම් චක්ඛු විඤ්ඤාණයකුත් වේද, යම් චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් කනකුත් වේද, යම් ශබ්දයෝත් වෙත්ද, යම් සෝතවිඤ්ඤාණයකුත් වේද, යම් සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් නාසයකුත් වේද, යම් ගන්‍ධයෝත් වෙත්ද, යම් ඝාණ විඤ්ඤාණයකුත් වේද, යම් ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් දිවකුත් වේද, යම් රසයෝත් වෙත්ද, යම් ජිව්හා විඤ්ඤාණයකුත් වේද, යම් ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් කයකුත් වේද, යම් ස්පර්‍ශයෝත් වෙත්ද, යම් කාය විඤ්ඤාණයකුත් වේද, යම් කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් සිතකුත් වේද, යම් ධර්‍මයෝත් වෙත්ද, යම් මනෝ විඤ්ඤාණයකුත් වේද, යම් මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, මහණෙනි, මේ සියල්ල වනාහි මනාව නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, මාර්‍ගයෙන් පහ නොකරන්නේ, දුක් නැසීමට නුසුදුසු වේ.
“මහණෙනි, සියල්ල වනාහි මනාව දන්නේ, පිරිසිඳ දන්නේ, මාර්‍ගයෙන් පහකරන්නේ, දුක් නැසීමට සුදුසු වේ. මහණෙනි, කවර නම් සියල්ලක් මනාව දන්නේ, පිරිසිඳ දන්නේ, මාර්‍ගයෙන් පහ කරන්නේ, දුක් නැසීමට සුදුසු වේද,
මහණෙනි, යම් ඇසකුත් වේද, යම් රූපයෝත් වෙත්ද, යම් චක්ඛු විඤ්ඤාණයකුත් වේද, යම් චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් කනකුත් වේද, යම් ශබ්දයෝත් වෙත්ද, යම් සෝතවිඤ්ඤාණයකුත් වේද, යම් සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් නාසයකුත් වේද, යම් ගන්‍ධයෝත් වෙත්ද, යම් ඝාණ විඤ්ඤාණයකුත් වේද, යම් ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් දිවකුත් වේද, යම් රසයෝත් වෙත්ද, යම් ජිව්හා විඤ්ඤාණයකුත් වේද, යම් ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් කයකුත් වේද, යම් ස්පර්‍ශයෝත් වෙත්ද, යම් කාය විඤ්ඤාණයකුත් වේද, යම් කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් සිතකුත් වේද, යම් ධර්‍මයෝත් වෙත්ද, යම් මනෝ විඤ්ඤාණයකුත් වේද, යම් මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, මහණෙනි, මේ සියල්ල වනාහි මනාව දන්නේ, පිරිසිඳ දන්නේ, මාර්‍ගයෙන් පහ කරන්නේ, දුක් නැසීමට සුදුසු වේය” යි (වදාළ සේක.)
1. 3. 6.
ආදිත්තපරියාය සූත්‍රය
28. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා ශීර්‍ෂයෙහි භික්‍ෂූන් දහසක් හා සමග වාසය කරන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ඇමන්ත්‍රණය කළ සේක.
“මහණෙනි, සියල්ල ඇවිලගන්නා ලද්දේ වෙයි. මහණෙනි, කවර නම් සියල්ලක් ඇවිලගන්නා ලද්දේ වේද? “මහණෙනි, ඇස ඇවිලගන්නා ලද්දේ වෙයි. රූපයෝ ඇවිලගන්නා ලද්දාහ. චක්ඛු විඤ්ඤාණය ඇවිලගන්නා ලද්දේ වෙයි. චක්ඛු සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේ වෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි.
“මහණෙනි, කන ඇවිලගන්නා ලද්දේ වෙයි. ශබ්දයෝ ඇවිලගන්නා ලද්දාහ. සෝත විඤ්ඤාණය ඇවිලගන්නා ලද්දේ වෙයි. සෝත සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේ වෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි.