1. 2. 3.
ආශ්වාද පර්යේෂණ සූත්‍රය
15. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මම ඇස පිළිබඳ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. ඇස පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. ඇස පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ඇස පිළිබඳ ආදීනවය සෙවීමෙහි හැසුරුනෙමි. ඇස පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. ඇස පිළිබඳව යම්තාක් ආදීනවය වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ඇස පිළිබඳ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. ඇස පිළිබඳ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. ඇස පිළිබඳ යම්තාක් නිස්සරණයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.
මහණෙනි, මම කන පිළිබඳව -පෙ- මහණෙනි, මම නාසය පිළිබඳව -පෙ- මහණෙනි, මම දිව පිළිබඳව ආශ්වාදය සෙවීමෙහි හැසිරුණෙමි. දිව පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කළෙමි. දිව පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම දිව පිළිබඳ ආදීනවය සෙවීමෙහි හැසිරුණෙමි. දිව පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කළෙමි. දිව පිළිබඳ යම්තාක් ආදීනවයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම දිව පිළිබඳ නිස්සරණය සෙවීමෙහි හැසිරුණෙමි. දිව පිළිබඳ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කළෙමි. දිව පිළිබඳ යම්තාක් නිස්සරණයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම කය පිළිබඳව -පෙ- මහණෙනි, මම සිත පිළිබඳ ආශ්වාදය සෙවීමෙහි හැසිරුණෙමි. සිත පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කළෙමි. සිත පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම සිත පිළිබඳ ආදීනවය සෙවීමෙහි හැසිරුණෙමි. සිත පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කළෙමි. සිත පිළිබඳ යම්තාක් ආදීනවයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම සිත පිළිබඳ නිස්සරණය සෙවීමෙහි හැසිරුණෙමි. සිත පිළිබඳ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කළෙමි. සිත පිළිබඳ යම්තාක් නිස්සරණයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.
මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයන්ගේ ආශ්වාදය ආශ්වාද වශයෙනුත්, ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වශයෙනුත් තත්වූ පරිදි මනාව දැන නොගත්තෙම්ද -පෙ- දැනගත්තෙම්ද -පෙ- “මාගේ අර්හත්ඵල විමුක්තිය නොසැලෙන්නකි. මේ අන්තිම ජාතියයි. දැන් නැවත ඉපදීමක් නැතැ”යි මට ඥාන දර්ශනය පහළ විය.
1. 2. 4.
දුතිය ආශ්වාද පර්යේෂණ සූත්‍රය
16. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, මම රූපයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසිරුණෙමි. රූපයන්ගේ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කළෙමි. යම්තාක් රූපයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම රූපයන්ගේ ආදීනවය සෙවීමෙහි හැසිරුණෙමි. රූපයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කළෙමි. යම්තාක් රූපයන්ගේ ආදීනවයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම රූපයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසිරුණෙමි. රූපයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කළෙමි. යම්තාක් රූපයන්ගේ නිස්සරණයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ශබ්දයන්ගේ -පෙ- මහණෙනි, මම ගන්ධයන්ගේ -පෙ- මහණෙනි, මම රසයන්ගේ -පෙ- මහණෙනි, මම ඵොට්ඨබ්බයන්ගේ -පෙ- මහණෙනි, මම ධර්මයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසිරුණෙමි. ධර්මයන්ගේ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කළෙමි. යම්තාක් ධර්මයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ධර්මයන්ගේ ආදීනවය සෙවීමෙහි හැසිරුණෙමි. ධර්මයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කළෙමි. යම්තාක් ධර්මයන්ගේ ආදීනවයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ධර්මයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසිරුණෙමි. ධර්මයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කළෙමි. යම්තාක් ධර්මයන්ගේ නිස්සරණයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.
මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම් බාහිර ආයතනයන්ගේ ආශ්වාදය ආශ්වාද වශයෙනුත්, ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වශයෙනුත් තත්වූ පරිදි මනාව දැන නොගත්තෙම්ද -පෙ- දැනගත්තෙම්ද -පෙ- ‘මාගේ අර්හත්ඵල විමුක්තිය නොසැලෙන්නකි. මේ අන්තිම ජාතියයි. දැන් නැවත ඉපදීමක් නැතැ’යි මට ඥාන දර්ශනය පහළ විය.
1. 2. 5.
නො චෙ අස්සාදසුත්තං
17. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඇස පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්‍වයෝ මේ ඇස කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ඇස පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ඇස කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් ඇස පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ඇස කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් ඇස පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ඇස කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් ඇස පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ඇස කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් ඇස පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ඇස කෙරෙන් මිදෙන්නාහුය.