1. 2. 4.
දුතිය ආශ්වාද පර්යේෂණ සූත්‍රය
16. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, මම රූපයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසිරුණෙමි. රූපයන්ගේ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කළෙමි. යම්තාක් රූපයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම රූපයන්ගේ ආදීනවය සෙවීමෙහි හැසිරුණෙමි. රූපයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කළෙමි. යම්තාක් රූපයන්ගේ ආදීනවයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම රූපයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසිරුණෙමි. රූපයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කළෙමි. යම්තාක් රූපයන්ගේ නිස්සරණයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ශබ්දයන්ගේ -පෙ- මහණෙනි, මම ගන්ධයන්ගේ -පෙ- මහණෙනි, මම රසයන්ගේ -පෙ- මහණෙනි, මම ඵොට්ඨබ්බයන්ගේ -පෙ- මහණෙනි, මම ධර්මයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසිරුණෙමි. ධර්මයන්ගේ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කළෙමි. යම්තාක් ධර්මයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ධර්මයන්ගේ ආදීනවය සෙවීමෙහි හැසිරුණෙමි. ධර්මයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කළෙමි. යම්තාක් ධර්මයන්ගේ ආදීනවයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ධර්මයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසිරුණෙමි. ධර්මයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කළෙමි. යම්තාක් ධර්මයන්ගේ නිස්සරණයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.
මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම් බාහිර ආයතනයන්ගේ ආශ්වාදය ආශ්වාද වශයෙනුත්, ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වශයෙනුත් තත්වූ පරිදි මනාව දැන නොගත්තෙම්ද -පෙ- දැනගත්තෙම්ද -පෙ- ‘මාගේ අර්හත්ඵල විමුක්තිය නොසැලෙන්නකි. මේ අන්තිම ජාතියයි. දැන් නැවත ඉපදීමක් නැතැ’යි මට ඥාන දර්ශනය පහළ විය.
1. 2. 5.
නො චෙ අස්සාදසුත්තං
17. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඇස පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්වයෝ මේ ඇස කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ඇස පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ඇස කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් ඇස පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්වයෝ මේ ඇස කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් ඇස පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ඇස කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් ඇස පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ ඇස කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් ඇස පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ඇස කෙරෙන් මිදෙන්නාහුය.
මහණෙනි, ඉදින් කන පිළිබඳ -පෙ- මහණෙනි, ඉදින් නාසය පිළිබඳ -පෙ- මහණෙනි, ඉදින් දිව පිළිබඳ ආශ්වාදයක් නැත්තේ නම්, සත්ත්වයෝ දිව කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් දිව පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ දිව කෙරෙහි ඇලෙති. මහණෙනි, ඉදින් දිව පිළිබඳ ආදීනවයක් නැත්තේ නම්, සත්ත්වයෝ දිව කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් දිව පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ දිව කෙරෙහි කළකිරෙති. මහණෙනි, ඉදින් දිව පිළිබඳ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්වයෝ දිවෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් දිව පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ දිවෙන් මිදෙති.
“මහණෙනි, කය පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්වයෝ මේ කය කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි කය පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ කය කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් කය පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්වයෝ මේ කය කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් කය පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ කය කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් කය පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ කය කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් කය පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ කය කෙරෙන් මිදෙන්නාහුය. “මහණෙනි, සිත පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්වයෝ මේ සිත කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි සිත පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ සිත කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් සිත පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්වයෝ මේ සිත කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් සිත පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ සිත කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් සිත පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ සිත කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් සිත පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ සිත කෙරෙන් මිදෙන්නාහුය.
“මහණෙනි, යම්තාක් කල් සත්ත්වයෝ මේ සවැදෑරුම්වූ අධ්‍යාත්මිකවූ ආයතනයන්ගේ ආශ්වාදය, ආශ්වාද වශයෙන්ද, ආදීනවය, ආදීනව වශයෙන්ද, නිස්සරණය, නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් දැන නොගත්තාහුද, මහණෙනි, ඒතාක්ම සත්ත්වයෝ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙන්, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්ව ප්‍රජාවෙන් නික්මුණාහු වෙන්වුනාහු, මිදුනාහු, ලෝක සීමාව ඉක්මවූ සිතින් යුක්තවූ සිතින් යුක්තව වාසය නොකළාහුය.
මහණෙනි, යම් කලක පටන් සත්ත්වයෝ මේ සවැදෑරුම්වූ, අධ්‍යාත්මිකවූ, ආයතනයන්ගේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, තත්වූ පරිද්දෙන් දැනගත්තාහුද, මහණෙනි, එකල්හි සත්ත්වයෝ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙන් මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්වප්රජාවෙන් නික්මුණාහු, වෙන්වුනාහු, මිදුනාහු, ලෝක සීමාව ඉක්මවූ සිතින් යුක්තව වාසය කෙරෙත්ය” යි වදාළ සේක.