1. 19. 8.
කිංසුකොපම සූත්‍රය
245. එකල්හි එක්තරා භික්‍ෂුවක්, තවත් එක්තරා භික්‍ෂුවක් යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂුවට, ඇවැත්නි, භික්‍ෂුවගේ දැකීම කොපමණකින් පිරිසිදු වූවක් වේදැයි, ඇසුවේය. ඇවැත්නි, යම් තැනක පටන් මහණතෙම ස්පර්‍ශායතන සයදෙනාගේ පහළවීමද විනාශවීමද තත්වූ පරිද්දෙන් දනීද, ඇවැත්නි, මෙපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය (සෝවාන් මාර්‍ගය) පිරිසිදු වූයේයයි’ කීය.
ඉක්බිති භික්‍ෂුතෙම, ඒ භික්‍ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් අසතුටුවූයේ තවත් භික්‍ෂුවක් කරා පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂුවගෙන්, ඇවැත්නි, කොපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වූයේ වේදැයි, ඇසීය. “ඇවැත්නි, යම් කාලයක පටන් භික්‍ෂුව උපාදානස්කන්‍ධ පස්දෙනාගේ පහළවීමද විනාශවීමද තත්වූ පරිද්දෙන් දනීද, ඇවැත්නි, එපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වූයේ වේයයි, කීය.
ඉක්බිති ඒ භික්‍ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් අසතුටුවූ භික්‍ෂුතෙම අනෙක් එක්තරා භික්‍ෂුවක් කරා පැමිණියේය. පැමිණ, ඇවැත්නි, කොපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වූයේ වේදැයි, ඒ භික්‍ෂුවගෙන් ඇසීය. “ඇවැත්නි, යම් තැනක පටන් භික්‍ෂුව සතර මහා භූතයන්ගේ පහළවීමද විනාශවීමද තත්වූ පරිද්දෙන් දනීද ඇවැත්නි, මෙපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේයයි, කීය.
ඉක්බිති ඒ මහණතෙම ඒ භික්‍ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් නොසතුටුව අනෙක් එක්තරා භික්‍ෂුවක් යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ඇවැත්නි, භික්‍ෂුවගේ දර්‍ශනය කොපමණකින් පිරිසිදු වේදැයි, ඇසීය. “ඇවැත්නි, භික්‍ෂුව යම් තැනක පටන් ඉපදීම ස්වභාව කොට ඇති යම් කිසිවක් ඇද්ද, ඒ සියල්ල නැතිවීම ස්වභාව කොට ඇත්තේයයි තත්වූ පරිද්දෙන් දනීනම් ඇවැත්නි, මෙපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේයයි, ඒ භික්‍ෂුව කීයේය.
ඉක්බිති ඒ භික්‍ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් නොසතුටුව බුදුරජාණන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ඒ භික්‍ෂුව බුදුරජාණන් වහන්සේට මෙසේ සැළ කළේය. ස්වාමිනි, මම මෙහි එක්තරා භික්‍ෂුවක් කරා පැමිණියෙමි. පැමිණ,‘ඇවැත්නි, කොපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේදැ’යි ඒ භික්‍ෂුවගෙන් ඇසුවෙමි. ස්වාමිනි, මෙසේ කල්හි ඒ භික්‍ෂුතෙම, ඇවැත්නි යම් තැනක පටන් භික්‍ෂුතෙම ස්පර්‍ශායතන සයදෙනාගේ ඇතිවීමත් නැතිවීමත් තත්වූ පරිද්දෙන් දනීද, ඇවැත්නි, මෙපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේයයි, මට කීයේය.
“ඉක්බිති ස්වාමිනි, මම ඒ භික්‍ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් නොසතුටුව නැවත අනෙක් එක්තරා භික්‍ෂුවක් වෙත ගියෙමි. ගොස්, ඇවැත්නි, කොපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේදැයි’ ඒ භික්‍ෂුවගෙන් ඇසුවෙමි. ස්වාමිනි, එකල්හි ඒ මහණ, මට ‘ඇවැත්නි, යම් තැනක පටන් භික්‍ෂුව උපාදානස්කන්‍ධ පස්දෙනාගේ පහළවීමද නැතිවීමද තත්වූ පරිද්දෙන් දනීද... සතර මහා භූතයන්ගේ පහළවීමද විනාශවීමද තත්වූ පරිද්දෙන් දනීද...ඉපදීම ස්වභාව කොට ඇති යම් කිසිවක් ඇද්ද, ඒ සියල්ල නැතිවීම ස්වභාව කොට ඇත්තේයයි තත්වූ පරිද්දෙන් දනීද, ඇවැත්නි, එපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේයයි, කීයේය.
ස්වාමිනි, එකල්හි මම ඒ භික්‍ෂුහුගේ ප්‍රශ්න තේරීමෙන් නොසතුටුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියෙමි. ස්වාමිනි, භික්‍ෂුවගේ දර්‍ශනය කොපමණකින් පිරිසිදුවේද?,
“මහණ, යම්සේ (එරබදු) කෑලමල් නුදුටු පුරුෂයෙක්වේද, ඔහු කෑල ගසක් දුටු පුරුෂයෙකු කරා යන්නේය. ගොස්, ‘පින්වත් පුරුෂය, කෑල ගස කෙබඳුදැයි’ ඔහුගෙන් අසන්නේය. ‘පින්වත් පුරුෂය, කෑල ගස දැවුණු කණුවක්සේ කළුයයි’ කියන්නේය. මහණ, ඒ පුරුෂයාගේ දැකීම යම්සේද, ඒ කාලයෙහි කෑලගස එබඳුය.