1. 19. 7.
දුක්ඛධම්ම සූත්‍රය
244. “මහණෙනි, යම් හෙයකින් වනාහි භික්‍ෂුතෙම සියලුම දුක්ඛ ධර්‍මයන්ගේ හටගැනීමද, දුරුවීමද තත්වූ පරිද්දෙන් දැනගනීද, යම් ආකාරයකින් කාමයන් දක්නාවු ඔහුට කාමයන් කෙරෙහි යම් කාම ආශාවක් කාම ස්නේහයක් කාම මුර්ඡාවක් කාම දාහයක් කාමච්ඡන්‍දයක් වේනම් එය නොපවත්නේද ඒ ආකාරයෙන් කාමයෝ දක්නා ලද්දාහු වෙත්. යම් ආකාරයකින් හැසිරෙන්නහුට වසන්නහුට විෂම ලෝභ දොම්නස් යන ලාමක අකුසල ධර්‍මයෝ නැවත නැවත වහනය නොවෙත්ද, ඔහු විසින් ඒ ආකාරයෙන් විසීමද හැසිරීමද අවබෝධ කරන ලද්දේ වෙයි.
“මහණෙනි, කෙසේනම් භික්‍ෂුතෙම සියලුම දුක්ඛ ධර්‍මයන්ගේ හටගැනීමද විනාශයද තත්වූ පරිද්දෙන් දැනගනීද, රූපය මෙසේය, රූපයාගේ හටගැනීම මෙසේය, රූපයාගේ විනාශය මෙසේය, වේදනාව මෙසේය, වේදනාවගේ හටගැනීම මෙසේය, වේදනාවගේ විනාශය මෙසේය, සංඥාව මෙසේය, සංඥාවේ හටගැනීම මෙසේය, සංඥාවේ විනාශය මෙසේය, සංස්කාරයෝ මෙසේය, සංස්කාරයන්ගේ හටගැනීම මෙසේය, සංස්කාරයාගේ විනාශය මෙසේය, විඤ්ඤාණය මෙසේය, විඤ්ඤාණයාගේ හටගැනීම මෙසේය, විඤ්ඤාණයාගේ විනාශය මෙසේය කියායි, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම සියලුම දුක්ඛ ධර්‍මයන්ගේ හටගැනීමද, විනාශයද, තත්වූ පරිද්දෙන් දැනගනියි.
“මහණෙනි, යම් ආකාරයකින් කාමයන් දක්නාවූ ඔහුට කාමයන්හි යම් කාම ආශාවක් කාම ස්නේහයක් කාම මුර්ඡාවක් කාම දාහයක් වේද, එය නැවත නැවත නොපවතියිද, මහණෙනි, ඔහු විසින් ඒ ආකාරයෙන් කාමයෝ දක්නා ලද්දාහුද? මහණෙනි, යම්සේ ගිණිදළු නැති දුම් නැති ගිණි අඟුරු වලින් පිරුණාවූ පුරුෂයෙකුගේ උසට වැඩියෙන් ගැඹුරුවූ ගිණි අඟුරු වලක් වේද, ඉක්බිති ජීවත්වනු කැමැත්තාවූ නොමැරෙණු කැමැත්තාවූ සැප කැමැත්තාවූ දුක් පිළිකුල් කරන්නාවූ පුරුෂයෙක් එන්නේද ශක්තිමත්වූ පුරුෂයෝ දෙදෙනෙක් ඔහු වෙනවෙනම අත්වලින් අල්වා ඒ අඟුරු වළට අදින්නාහුද, හෙතෙම එසේද මෙසේද ශරීරය නමන්නේය. ඊට හේතු කවරේද, මහණෙනි, ඒ පුරුෂයා විසින් මම මේ අඟුරු වළට වැටෙන්නෙම්ද, ඒ හේතුවෙන් මරණයට හෝ මරණය තරම් දුකට හෝ පැමිණෙමියි, දැනගන්නා ලද්දේ වෙයි. “මහණෙනි, එපරිද්දෙන්ම භික්‍ෂුව විසින් අඟුරු වළට උපමා ඇත්තාවූ කාමයෝ දක්නා ලද්දාහු වෙත්. යම්සේ කාමයන් දක්නාවූ ඔහුට කාමයන්හි යම් කාමාශාවක් කාම ස්නේහයක් කාම මුර්ඡාවක් කාම දාහයක් වේද, එය නැවත නැවත නොපවතියිද එසේ ඒ භික්‍ෂුව විසින් අඟුරු වළකට උපමා ඇති කාමයෝ දක්නා ලදහ.
“මහණෙනි, යම්සේ හැසිරෙන්නහුට වාසය කරන්නහුට විෂම ලෝභ දොම්නස් යන ලාමකවූ අකුසල ධර්‍මයෝ නැවත නැවත වහනය නොවෙත්ද, ඒ ආකාරයෙන් හැසිරීමද විසීමද කෙසේනම් අවබෝධ කරන ලද්දේද? මහණෙනි, යම්සේ පුරුෂයෙක් බොහෝ කටු ඇති වනයකට ප්‍රවිෂ්ට වන්නේද, ඔහුගේ ඉදිරියෙන් කටු ඇත්තේ පිටුපසින්ද කටු ඇත්තේ උතුරෙන්ද කටු ඇත්තේ දකුණෙන්ද කටු ඇත්තේ යට දිසාවෙන්ද කටු ඇත්තේ උඩ දිශාවෙන්ද කටු ඇත්තේවේද, හෙතෙම කටු නොඇනේවායි සිහියෙන් යුක්තව ඉදිරියට යන්නේද, පෙරළා එන්නේද, මහණෙනි, එසේම ලෝකයෙහි යමක් ප්‍රිය ස්වභාව ඇත්තේද, එය ආර්‍ය්‍ය විනයෙහි කටුයයි කියනු ලැබේ. මෙසේ එය කටුයයි දැන සංවරයද අසංවරයද දත යුතුයි.
“මහණෙනි, කෙසේනම් අසංවරය වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇසින් රූපයක් දැක ප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි කිපේද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ යම් තැනෙක්හි ඉතිරිනොවී නිරුද්ධවෙත් නම් ඒ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද තතුසේ නොදනී. කනෙන් ශබ්දයක් අසා ප්‍රිය ස්වභාව ඇත්තාවූ ශබ්දයෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ශබ්දයෙහි කිපේද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ යම් තැනෙක්හි ඉතිරිනොවී නිරුද්ධවෙත් නම් ඒ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද තතුසේ නොදනී. නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකොට ප්‍රිය ස්වභාව ඇත්තාවූ ගන්‍ධයෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ගන්‍ධයෙහි කිපේද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ යම් තැනෙක්හි ඉතිරිනොවී නිරුද්ධවෙත් නම් ඒ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද තතුසේ නොදනී. දිවෙන් රසයක් විඳ ප්‍රිය ස්වභාව ඇත්තාවූ රසයෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ රසයෙහි කිපේද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ යම් තැනෙක්හි ඉතිරිනොවී නිරුද්ධවෙත් නම් ඒ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද තතුසේ නොදනී. කයින් ස්පර්‍ශයක් කොට ප්‍රිය ස්වභාව ඇත්තාවූ ස්පර්‍ශයෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ස්පර්‍ශයෙහි කිපේද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ යම් තැනෙක්හි ඉතිරිනොවී නිරුද්ධවෙත් නම් ඒ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද තතුසේ නොදනී.