1. 18. 10.
දුතිය හත්ථපාදූපම සූත්රය
237. “මහණෙනි, අත්දෙක ඇති කල්හි ගැනීම බහා තැබීම වේද, පා දෙක ඇති කල්හි ඉදිරියට යාම ආපසුයාම වේද, හන්දි ඇති කල්හි හැකිලීම දිගහැරීම වේද, කුස ඇති කල්හි සා පිපාස දෙක වේද, “මහණෙනි, එපරිද්දෙන්ම ඇස ඇති කල්හි චක්ඛු සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි. කන ඇති කල්හි සෝත සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි. නාසය ඇති කල්හි ඝාණ සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි. දිව ඇති කල්හි ජිව්හා සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි. කය ඇති කල්හි කාය සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි. සිත ඇති කල්හි මනෝ සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.
“මහණෙනි, අත්දෙක නැති කල්හි ගැනීම බහා තැබීම නොවේද, පා දෙක නැති කල්හි ඉදිරියට යාම පස්සට යාම නොවේද, හන්දි නැති කල්හි හැකිලීම දිගහැරීම නොවේද, කුස නැති කල්හි සා පිපාස දෙක නොවේද, “මහණෙනි, එපරිද්දෙන්ම ඇස නැති කල්හි චක්ඛු සම්ඵස්සය නිසා තමාතුළ සැප දුක නූපදියි. කන නැති කල්හි සෝත සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. නාසය නැති කල්හි ඝාණ සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. දිව නැති කල්හි ජිව්හා සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. කය නැති කල්හි කාය සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. සිත නැති කල්හි මනෝ සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක නූපදීයයි.
තුන්වෙනි සමුද්දය වර්ගය නිමි.
එහි උද්දානය:
සමුද්ද සූත්ර දෙක ය, බාලිසික සූත්රය ය, ඛීරරුක්ඛ සූත්රය ය, කොට්ඨිත සූත්රය ය, කාමභූ සූත්රය ය, උදායී සූත්රය ය, ආදිත්තපරියාය සූත්රය ය, හත්ථපාදූපම සූත්රය යි මෙයින් මේ වග්ගය කියනු ලැබේ.
19. ආසිවිස වර්ගය
1. 19. 1.
ආසිවිසොපම සූත්රය
238. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්සේ බලවත් උග්රවිෂ ඇත්තාවූ දරුණු විෂ ඇත්තාවූ සර්පයෝ සතර දෙනෙක් වෙත්, ඉක්බිති ජීවත්වනු කැමැත්තාවූ නොමැරෙනු කැමැත්තාවූ සැප කැමැත්තාවූ දුක පිළිකුල් කරන්නාවූ පුරුෂයෙක් එන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. ‘පින්වත් පුරුෂය, තොප විසින් උග්ර විෂ ඇත්තාවූ දරුණු විෂ ඇත්තාවූ මේ සර්පයෝ සතරදෙන කලින් කල නැගිටවිය යුත්තාහුය. කලින් කල නැහැවිය යුත්තාහුය. කලින් කල වැළඳවිය යුත්තාහුය. කලින් කල සයනය කරවිය යුත්තාහුය. පින්වත් පුරුෂය, යම් කලෙක මේ උග්ර විෂ ඇත්තාවූ දරුණු විෂ ඇත්තාවූ සර්පයන් සතරදෙනාගෙන් එක්තරා එකෙක් තට කිපෙන්නේද, පින්වත් පුරුෂය, ඒ හේතුවෙන් නුඹ මරණයට හෝ මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේය. පින්වත් පුරුෂය, තොප විසින් යමක් කටයුතුද, එය කරව කියායි.
“මහණෙනි, එකල්හි ඒ පුරුෂතෙම උග්රවිෂ ඇත්තාවූ දරුණු විෂ ඇත්තාවූ සර්පයන් සතර දෙනාට භයවී යම් ඒ තැනකින් පැන යන්නේය. (ඉක්බිති) ඔහුට මෙසේ කියන්නාහුය. පින්වත් පුරුෂය, මේ තොපගේ පසුපස්සේ සතුරුවූ වධකයෝ පස් දෙනෙක් යම් තැනෙක්හිම ඔහු දක්නෙමුද, එතැන්හිම ඔහු දිවි තොර කරන්නෙමුයි, එලවා එන්නාහුය. පින්වත් පුරුෂය, තොප විසින් යමක් කටයුතුද, එය කරවයි කියායි. “මහණෙනි, එකල්හි ඒ පුරුෂතෙම උග්රවිෂ ඇත්තාවූ දරුණු විෂ ඇත්තාවූ සර්පයන් සතර දෙනාට භයවී සතුරු වූ වධකයන් පස් දෙනාට භයවී යම් ඒ තැනකින් පැන යන්නේය.
(ඉක්බිති) ඔහුට මෙසේ කියන්නාහුය. ‘පින්වත් පුරුෂය, තොපගේ පසුපස්සේ ඔසවාගත් කඩුවක් ඇතිවූ සමීප ආශ්රය ඇති මේ හයවැනි වධකයෙක්ද යම් තැනකදී ඔහු දක්නෙම්ද, එතැනදීම ඔහුගේ හිස ගසා දමන්නෙමියි, එලවා එන්නේ වෙයි. පින්වත් පුරුෂය, තොප විසින් යමක් කටයුතුද, එය කරවයි’ යනුවෙනි. “මහණෙනි, එකල්හි ඒ පුරුෂතෙම උග්රවිෂ ඇත්තාවූ ඝෝර විෂ ඇත්තාවූ සර්පයන් සතර දෙනාට භයව සතුරු වධකයන් පස් දෙනාට භයව ඔසවාගත් කඩුවක් ඇති සමීප ආශ්රය ඇති වධකයාට භයව යම් ඒ තැනකින් පලා යන්නේය.