1. 16. 3.
3. අජ්ඣත්ත නන්දික්ඛයයොනිසො සූත්‍රය
158. “මහණෙනි, ඇස නුවණින් මෙනෙහි කරව්. ඇස පිළිබඳ අනිත්‍ය බව තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්ෂුතෙම ඇස නුවණින් මෙනෙහි කරන්නේ ඇස පිළිබඳ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ ඇස කෙරෙහිද කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.
“මහණෙනි, කන නුවණින් මෙනෙහි කරව් -පෙ- මහණෙනි, නාසය නුවණින් මෙනෙහි කරව් -පෙ- මහණෙනි, දිව නුවණින් මෙනෙහි කරව්. දිවේ අනිත්‍ය බව ද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්ෂු තෙමේ දිව නුවණින් මෙනෙහි කරන්නේ, දිවේ අනිත්‍ය බව ද තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ, දිව කෙරෙහි ද කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙක නැසීමෙන් සිත මනාකොට මිදුණේ යයි කියනු ලැබේ.
“මහණෙනි, කය නුවණින් මෙනෙහි කරව්. කය පිළිබඳ අනිත්‍ය බව තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්ෂුතෙම කය නුවණින් මෙනෙහි කරන්නේ කය පිළිබඳ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ කය කෙරෙහිද කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, සිත නුවණින් මෙනෙහි කරව්. සිත පිළිබඳ අනිත්‍ය බව තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්ෂුතෙම සිත නුවණින් මෙනෙහි කරන්නේ සිත පිළිබඳ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ සිත කෙරෙහිද කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසෙයි. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේයයි, (වදාළ සේක.)
1. 16. 4.
4. බාහිර නන්දික්ඛයයොනිසො සූත්‍රය
159. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපයන් නුවණින් මෙනෙහි කරව්. රූපයන්ගේ අනිත්‍ය බවද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්ෂුතෙම රූපයන් මෙනෙහි කරන්නේ රූපයන්ගේ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ රූපයන්හි කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.
“මහණෙනි, ශබ්දයන් -පෙ- මහණෙනි, ගන්ධයන් -පෙ- මහණෙනි, රසයන් -පෙ- මහණෙනි, පහස් -පෙ- මහණෙනි, ධර්මයන් නුවණින් මෙනෙහි කරව්. ධර්මයන්ගේ අනිත්‍ය බව ද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්ෂු තෙමේ ධර්මයන් නුවණින් මෙනෙහි කරන්නේ, ධර්මයන්ගේ අනිත්‍ය බව ද තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ, ධර්මයන් කෙරෙහි ද කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙක නැසීමෙන් සිත මනාකොට මිදුණේ යයි කියනු ලැබේ” යි (වදාළ සේක).
1. 16. 5.
5. සමාධි සූත්‍රය
160. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ජීවක නම් වෛද්‍යවරයාගේ අඹ උයනෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, එකඟවූ සිත් ඇත්තාවූ භික්ෂුහට තත්වූ පරිද්දෙන් වැටහෙයි. (පෙනෙයි.) කුමක්නම් තත්වූ පරිද්දෙන් වැටහේද?