1. 14. 11.
11. බාහිර දුක්‌ඛ සූත්‍රය
144. “මහණෙනි, රූපයෝ දුක්වෙත්. රූපයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ රූපයෝ කොයින් සැප වන්නාහුද? “ශබ්දයෝ දුක්වෙත්. ශබ්දයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ ශබ්දයෝ කොයින් සැප වන්නාහුද? “ගන්‍ධයෝ දුක්වෙත්. ගන්‍ධයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ ගන්‍ධයෝ කොයින් සැප වන්නාහුද? “රසයෝ දුක්වෙත්. රසයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ රසයෝ කොයින් සැප වන්නාහුද? “ස්පර්‍ශයෝ දුක්වෙත්. ස්පර්‍ශයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ ස්පර්‍ශයෝ කොයින් සැප වන්නාහුද? “ධර්‍මයෝ දුක්වෙත්. ධර්‍මයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ ධර්‍මයෝ කොයින් සැප වන්නාහුද?
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද, නාසය කෙරෙහිද, දිව කෙරෙහිද, කය කෙරෙහිද, සිත කෙරෙහිද, කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී.කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය”යි (වදාළ සේක.)
1. 14. 12.
12. බාහිර අනත්‌ත සූත්‍රය
145. “මහණෙනි, රූපයෝ අනාත්ම වෙත්. රූපයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්ම වේ. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත්තාවූ රූපයෝ කොයින් ආත්ම වන්නාහුද? “ශබ්දයෝ අනාත්ම වෙත්. ශබ්දයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්ම වේ. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත්තාවූ ශබ්දයෝ කොයින් ආත්ම වන්නාහුද? “ගන්‍ධයෝ අනාත්ම වෙත්. ගන්‍ධයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්ම වේ. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත්තාවූ ගන්‍ධයෝ කොයින් ආත්ම වන්නාහුද? “රසයෝ අනාත්ම වෙත්. රසයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්ම වේ. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත්තාවූ රසයෝ කොයින් ආත්ම වන්නාහුද? “ස්පර්‍ශයෝ අනාත්ම වෙත්. ස්පර්‍ශයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්ම වේ. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත්තාවූ ස්පර්‍ශයෝ කොයින් ආත්ම වන්නාහුද? “ධර්‍මයෝ අනාත්ම වෙත්. ධර්‍මයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්ම වේ. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත්තාවූ ධර්‍මයෝ කොයින් ආත්ම වන්නාහුද?
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද, නාසය කෙරෙහිද, දිව කෙරෙහිද, කය කෙරෙහිද, සිත කෙරෙහිද, කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී.කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය”යි (වදාළ සේක.)
හතරවෙනි දෙවදහ වර්‍ගය නිමි.
එහි උද්දානය:
දෙවදහ, ඛණ, සගය්හ හා ගය්හ ද, පලාස සූත්‍ර දෙක ද, හේතු නමින් වදාළ තුන බැගින් වූ අධ්‍යාත්මික හා බාහිර සූත්‍ර ද වේ.
15. නවපුරාණ වර්‍ගය
1. 15. 1.
කම්‌ම සූත්‍රය
146. “මහණෙනි, අළුත්වූද, පැරණිවූද කර්‍මයන්ද කර්‍මයන්ගේ නිරෝධයද කර්‍මයන් නිරුද්ධ කිරීම පිණිස පිළිපදින්නාවූ මාර්‍ගයද දේශනා කරමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි.”
“මහණෙනි, පුරාණවූ කර්‍මය කවරේද? මහණෙනි, ඇස පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය. “කන පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය. “නාසය පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය. “දිව පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය. “කය පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය. “සිත පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය. මහණෙනි, මෙය පුරාණ කර්‍මයයි කියනු ලැබේ.
“මහණෙනි, අළුත්වූ කර්‍මය නම් කවරේද? මහණෙනි, මේ කාලයෙහි කයින් වචනයෙන් සිතින් යම් කර්‍මයක් කෙරේද, මහණෙනි, මෙය අළුත්වූ කර්‍මයයි කියනු ලැබේ.
“මහණෙනි, කර්‍ම නිරෝධය කවරේද? මහණෙනි, යමෙක් වනාහි කාය කර්‍මය, වාග් කර්‍මය, මනෝ කර්‍මය නිරුද්ධ කිරීමෙන් විමුක්තිය (නිවන) ස්පර්ශ කෙරේද, මහණෙනි, මෙය කර්‍ම නිරෝධයයි කියනු ලැබේ.
“මහණෙනි, කර්ම නිරුද්ධ කිරීම පිණිස පිළිපදින්නාවූ ප්‍රතිපදාව කවරේද? මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම වේ. එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය, (යන මේය) මහණෙනි, මෙය කර්‍මයන් නිරුද්ධ කිරීම පිණිස පිළිපදින්නාවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.
“මහණෙනි, මෙසේ වනාහි තොපට මා විසින් පුරාණවූ කර්‍මය දේශනා කරන ලදී. අළුත්වූ කර්‍මය දේශනා කරන ලදී. කර්‍ම නිරෝධය දේශනා කරන ලදී. කර්‍ම නිරෝධය පිණිස පිළිපදින ප්‍රතිපදාව දේශනා කරන ලදී. මහණෙනි, හිතවැඩ කැමැත්තාවූ අනුකම්පා ඇත්තාවූ ශාස්තෲවරයෙකු විසින් අනුකම්පා පිණිස ශ්‍රාවක වූ තොපට යමක් කටයුතුද, මා විසින් තොපට එය කරන ලදී. මහණෙනි, මේ වෘක්‍ෂ මූලයෝ වෙත්. මේ ශුන්‍යාගාර වෙත්. මහණෙනි, භාවනා කරව්. ප්‍රමාද නොවව්. පසුව පසුතැවිලි වන්නෝ නොවව්. මෙය තොපට අපගේ අනුශාසනාව වේයයි, වදාළේය.