1. 12. 4.
4. කාමගුණ සූත්රය
117. “මහණෙනි, සම්බොධියෙන් පූර්වයෙහිම සම්යක් සම්බුද්ධ නොවූ බොධිසත්ත්වවූම මට මෙබඳු අදහසක් විය. ‘මාගේ සිතින් විඳින ලදුව යම් ඒ පඤ්චකාම ගුණ කෙනෙක් ඉකුත් වුවාහුද, නිරුද්ධවුවාහුද, වෙනස් වුවාහුද ඒ අතීත පඤ්චකාම ගුණයන්හි හෝ වර්තමාන පඤ්චකාම ගුණයන්හි හෝ මාගේ සිත බහුල වශයෙන් ගමන් කරන්නේය. අනාගත පඤ්චකාම ගුණයන්හි හෝ ස්වල්ප වශයෙන් ගමන් කරන්නේය.
මහණෙනි, ඒ මට මෙබඳු අදහසක් විය. මාගේ සිතින් පෙර අනුභව කළාවු ඉකුත් වු නිරුද්ධ වු වෙනස් වු යම් පඤ්චකාම ගුණ කෙනෙක් වෙත්ද, තමහට වැඩ කැමැත්තාවු මා විසින් පඤ්චකාමයට සිත නොයැවීමත් සිහියත් චිත්තයාගේ ආරක්ෂාව කටයුත්තේය’ කියායි.
මහණෙනි, එහෙයින් මෙහි තොපගේද සිතින් පෙර අනුභව කරන ලද්දාවු ඉකුත් වු නිරුද්ධ වු වෙනස් වු පඤ්චකාම ගුණයෝ වෙත්ද, ඒ අතීත පඤ්චකාමයන්හි හෝ වර්තමාන පඤ්චකාම ගුණයන්හි හෝ තොපගේ සිත බහුල වශයෙන් ගමන් කරන්නේය. අනාගත පඤ්චකාම ගුණයන්හි හෝ ස්වල්ප වශයෙන් ගමන් කරන්නේය. “මහණෙනි, එහෙයින් මෙහි තොපගේද සිතින් අනුභව කරන ලද්දා වු ඉකුත් වු, නිරුද්ධ වු, වෙනස් වු පඤ්චකාම ගුණයෝ වෙත්ද එහි තමහට වැඩ කැමැත්තාවු තොප විසින් අප්රමාදයත් සිහියත් ආරක්ෂාව කළ යුත්තේය.
“මහණෙනි, එහෙයින් (නිර්වාණයෙහි) යම් තැනෙක්හි ඇසත් නිරුද්ධ වේද, රූප සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි (නිර්වාණයෙහි) කනත් නිරුද්ධ වේද, ශබ්ද සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි නාසයත් නිරුද්ධ වේද, ගන්ධ සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි දිවත් නිරුද්ධ වේද, රස සංඥාවත් වලකීද ඒ කරුණු දත යුතුයි. යම් කරුණෙක්හි කයත් නිරුද්ධ වේද, ස්පර්ශ සංඥාවත් වලකීද ඒ කරුණු දත යුතුයි. යම් කරුණෙක්හි සිතත් නිරුද්ධ වේද, ධර්ම සංඥාවත් වලකීද, ඒ කරුණු දත යුතුයයි - මෙය වදාරා භාග්යවතුන් වහන්සේ හුනස්නෙන් නැගිට විහාරයට ඇතුල් වූ සේක.
ඉක්බිති ඒ භික්ෂූන්ට භාග්යවතුන් වහන්සේ වැඩිය නොබෝ කල්හි මෙබඳු අදහසක් විය. ‘ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ අපට මේ උද්දේසය සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. ‘යම් තැනෙක්හි ඇසත් නිරුද්ධ වේද, රූප සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි කනත් නිරුද්ධ වේද, ශබ්ද සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි නාසයත් නිරුද්ධ වේද, ගන්ධ සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි දිවත් නිරුද්ධ වේද, රස සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි කයත් නිරුද්ධ වේද, ස්පර්ශ සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි සිතත් නිරුද්ධ වේද, ධර්ම සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුය යනුයි. භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද්දාවූ විස්තරයෙන් අර්ථ විභාග නොකරන ලද්දාවූ මේ උද්දේසයාගේ අර්ථය කවරෙක් වනාහි විස්තර වශයෙන් විභාග කරන්නේද?’ කියායි.
ඉක්බිති ඒ භික්ෂූන්ටට මෙබඳු අදහසක් විය. ‘මේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද මනාව වර්ණනා කරන ලද්දේය. නුවණැති සබ්රම්සරුන් විසින් ද ගරු කරන ලද්දේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර වශයෙන් අර්ථ විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ථ විස්තර වශයෙන් විභාග කරන්නට සමර්ථ වේ. අප ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද, එතැනට යන්නෙමු නම්, ගොස් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගෙන් මේ කරුණ අසන්නෙමු නම් යෙහෙක’ කියායි.
ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැනට ගියාහුය. ගොස් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූවාහුය. සතුටු විය යුතු සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නා වූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය කීවාහුය. “ඇවැත් ආනන්ද ස්ථවිරයෙනි, භාග්යවතුන් වහන්සේ අපට මේ උදෙසීම සැකෙවින් උදෙසා විස්තර වශයෙන් අර්ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක. ‘යම් තැනෙක්හි ඇසත් නිරුද්ධ වේද, රූප සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි කනත් නිරුද්ධ වේද, ශබ්ද සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි නාසයත් නිරුද්ධ වේද, ගන්ධ සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි දිවත් නිරුද්ධ වේද, රස සංඥාවත් වලකීද ඒ කරුණු දත යුතුයි. යම් තැනෙක්හි කයත් නිරුද්ධ වේද, ස්පර්ශ සංඥාවත් වලකීද ඒ කරුණු දත යුතුයි. යම් තැනෙක්හි සිතත් නිරුද්ධ වේද, ධර්ම සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුය’ යනුයි.,