1. 12. 3.
ලෝකන්‌තගමන සූත්‍රය
116. “මහණෙනි, මම ගමනින් චක්‍රවාට ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නො කියමි. මහණෙනි, මම වනාහි සංස්කාර ලෝකයාගේද කෙළවරට නොපැමිණ දුක් කෙළවරකිරීම නොකියමියි, (වදාළේය.) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක.
ඉක්බිති ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ කල්හි මෙබඳු අදහසක් විය. ඇවැත්නි අපට භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් මේ උදෙසීම උදෙසා විස්තරයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. ‘මහණෙනි, මම ගමනින් චක්‍රවාළ ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නොකියමි. මහණෙනි, මම වනාහි සංස්කාර ලෝකයාගේද කෙළවරට නොපැමිණ දුක් කෙළවරකිරීම නොකියමි’ යනුයි භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර වශයෙන් අර්ථය විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ථය විස්තර වශයෙන් කවරෙක් වනාහි විභාග කරන්නේද, කියායි.
ඉක්බිති ඒ භික්‍ෂූන්ට මෙබඳු අදහසක් විය. ‘ මේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද මනාකොට වර්‍ණනා කරන ලද්දේය. නුවණ ඇති සබ්‍රම්සරුන් විසින් ද, ගරු කරන ලද්දේය. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර වශයෙන් අර්ථ විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ථ විස්තර වශයෙන් විභාග කරන්නට සමර්ථ වේ. අපි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට යන්නෙමු නම්, ගොස් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් මේ කරුණ අසන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ කියායි.
ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද එතැනට ගියාහුය. ගොස් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූවාහුය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නා වු ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය සැළ කළාහුය. “ඇවැත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, අපට භාග්‍යවතුන් වහන්සේ මේ උද්දේසය සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ථ විභාග නොකොට හුනස්නෙන් නැඟිට විහාරයට වැඩිසේක. ‘මහණෙනි, මම ගමනින් චක්‍රවාළ ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නොකියමි. මහණෙනි, මම වනාහි සංස්කාර ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීම නොකියමි’ යනුයි.
භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ථය විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ථය විස්තර වශයෙන් කවරෙක් වනාහි විභාග කරන්නේද, කියායි. ඇවැත්නි, ඒ මේ අපට මෙබඳු අදහසක් විය. ‘මේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද මනාව වර්‍ණනා කරන ලද්දේය. නුවණ ඇති සබ්‍රම්සරුන් විසින්ද ගරු කරන ලදී. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ථ විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ථ විස්තර වශයෙන් විභාග කරන්නට සමර්ථ වේ. අපි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද, එතැනට යන්නෙමු නම්, ගොස් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් මේ කරුණ අසන්නෙමු නම් යෙහෙක’ කියායි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ එය විභාග කරන සේක්වායි, කීහ.