1. 12. 2.
දුතිය මාරපාස සූත්රය
115. “මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ වෙත්. ඉදින් භික්ෂුතෙම එයට කැමතිවෙයිද, එය ප්රියයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්ෂුතෙම චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි බැඳුනේ, මරුවා වසන තැනට පැමිණියේ, මරුවාගේ වසඟයට ගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් වේයයි කියනු ලැබේ.
“මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ වෙත්. ඉදින් භික්ෂුතෙම එයට කැමතිවෙයිද, එය ප්රියයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්ෂුතෙම සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි බැඳුනේ, මරුවා වසන තැනට පැමිණියේ, මරුවාගේ වසඟයට ගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් වේයයි කියනු ලැබේ. “මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්ධයෝ වෙත්. ඉදින් භික්ෂුතෙම එයට කැමතිවෙයිද, එය ප්රියයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්ෂුතෙම ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්ධයන් කෙරෙහි බැඳුනේ, මරුවා වසන තැනට පැමිණියේ, මරුවාගේ වසඟයට ගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් වේයයි කියනු ලැබේ. “මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ වෙත්. ඉදින් භික්ෂුතෙම එයට කැමතිවෙයිද, එය ප්රියයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්ෂුතෙම ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි බැඳුනේ, මරුවා වසන තැනට පැමිණියේ, මරුවාගේ වසඟයට ගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් වේයයි කියනු ලැබේ. “මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්ශයෝ වෙත්. ඉදින් භික්ෂුතෙම එයට කැමතිවෙයිද, එය ප්රියයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්ෂුතෙම කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්ශයන් කෙරෙහි බැඳුනේ, මරුවා වසන තැනට පැමිණියේ, මරුවාගේ වසඟයට ගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් වේයයි කියනු ලැබේ. “මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ධර්මයෝ වෙත්. ඉදින් භික්ෂුතෙම එයට කැමතිවෙයිද, එය ප්රියයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්ෂුතෙම මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්මයන් කෙරෙහි බැඳුනේ, මරුවා වසන තැනට පැමිණියේ, මරුවාගේ වසඟයට ගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් වේයයි කියනු ලැබේ.
“මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් භික්ෂුතෙම එයට කැමති නොවෙයිද, එය ප්රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්ෂුතෙම චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන්ගෙන් මිදුනේ, මරුවා වසන තැනට නොපැමිණියේ, මරුවාගේ වසඟයට නොගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් නොවේයයි කියනු ලැබේ.
“මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් භික්ෂුතෙම එයට කැමති නොවෙයිද, එය ප්රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්ෂුතෙම සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන්ගෙන් මිදුනේ, මරුවා වසන තැනට නොපැමිණියේ, මරුවාගේ වසඟයට නොගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් නොවේයයි කියනු ලැබේ. “මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්ධයෝ ඇත්තාහ. ඉදින් භික්ෂුතෙම එයට කැමති නොවෙයිද, එය ප්රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්ෂුතෙම ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්ධයන්ගෙන් මිදුනේ, මරුවා වසන තැනට නොපැමිණියේ, මරුවාගේ වසඟයට නොගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් නොවේයයි කියනු ලැබේ. “මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් භික්ෂුතෙම එයට කැමති නොවෙයිද, එය ප්රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්ෂුතෙම ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන්ගෙන් මිදුනේ, මරුවා වසන තැනට නොපැමිණියේ, මරුවාගේ වසඟයට නොගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් නොවේයයි කියනු ලැබේ. “මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්ශයෝ ඇත්තාහ. ඉදින් භික්ෂුතෙම එයට කැමති නොවෙයිද, එය ප්රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්ෂුතෙම කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්ශයන්ගෙන් මිදුනේ, මරුවා වසන තැනට නොපැමිණියේ, මරුවාගේ වසඟයට නොගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් නොවේයයි කියනු ලැබේ. “මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ධර්මයෝ ඇත්තාහ. ඉදින් භික්ෂුතෙම එයට කැමති නොවෙයිද, එය ප්රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්ෂුතෙම මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්මයන්ගෙන් මිදුනේ, මරුවා වසන තැනට නොපැමිණියේ, මරුවාගේ වසඟයට නොගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් නොවේයයි කියනු ලැබේයයි (වදාළ සේක.)
1. 12. 3.
ලෝකන්තගමන සූත්රය
116. “මහණෙනි, මම ගමනින් චක්රවාට ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නො කියමි. මහණෙනි, මම වනාහි සංස්කාර ලෝකයාගේද කෙළවරට නොපැමිණ දුක් කෙළවරකිරීම නොකියමියි, (වදාළේය.) භාග්යවතුන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක.
ඉක්බිති ඒ භික්ෂූන්ට භාග්යවතුන් වහන්සේ වැඩි නොබෝ කල්හි මෙබඳු අදහසක් විය. ඇවැත්නි අපට භාග්යවතුන් වහන්සේ සැකෙවින් මේ උදෙසීම උදෙසා විස්තරයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. ‘මහණෙනි, මම ගමනින් චක්රවාළ ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නොකියමි. මහණෙනි, මම වනාහි සංස්කාර ලෝකයාගේද කෙළවරට නොපැමිණ දුක් කෙළවරකිරීම නොකියමි’ යනුයි භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර වශයෙන් අර්ථය විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ථය විස්තර වශයෙන් කවරෙක් වනාහි විභාග කරන්නේද, කියායි.
ඉක්බිති ඒ භික්ෂූන්ට මෙබඳු අදහසක් විය. ‘ මේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද මනාකොට වර්ණනා කරන ලද්දේය. නුවණ ඇති සබ්රම්සරුන් විසින් ද, ගරු කරන ලද්දේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර වශයෙන් අර්ථ විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ථ විස්තර වශයෙන් විභාග කරන්නට සමර්ථ වේ. අපි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට යන්නෙමු නම්, ගොස් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගෙන් මේ කරුණ අසන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ කියායි.
ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද එතැනට ගියාහුය. ගොස් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූවාහුය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නා වු ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙය සැළ කළාහුය. “ඇවැත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, අපට භාග්යවතුන් වහන්සේ මේ උද්දේසය සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ථ විභාග නොකොට හුනස්නෙන් නැඟිට විහාරයට වැඩිසේක. ‘මහණෙනි, මම ගමනින් චක්රවාළ ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නොකියමි. මහණෙනි, මම වනාහි සංස්කාර ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීම නොකියමි’ යනුයි.
භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ථය විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ථය විස්තර වශයෙන් කවරෙක් වනාහි විභාග කරන්නේද, කියායි. ඇවැත්නි, ඒ මේ අපට මෙබඳු අදහසක් විය. ‘මේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද මනාව වර්ණනා කරන ලද්දේය. නුවණ ඇති සබ්රම්සරුන් විසින්ද ගරු කරන ලදී. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ථ විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ථ විස්තර වශයෙන් විභාග කරන්නට සමර්ථ වේ. අපි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද, එතැනට යන්නෙමු නම්, ගොස් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගෙන් මේ කරුණ අසන්නෙමු නම් යෙහෙක’ කියායි. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ එය විභාග කරන සේක්වායි, කීහ.