1. 10. 9.
දුතිය නතුම්හාක සූත්රය
102. “මහණෙනි, යමක් තොපගේ නොවේද, එය දුරු කරව්. දුරු කරන ලද්දාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. මහණෙනි, කුමක් නම් තොපගේ නොවේද,
මහණෙනි, ඇස තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කරන ලද්දාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. රූපයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරු කළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. චක්ඛු විඤ්ඤාණය තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. චක්ඛු සම්ඵස්සය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.
චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. “කන තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ශබ්දයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරු කළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. සෝත විඤ්ඤාණය තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. සෝත සම්ඵස්සය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. “නාසය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ගන්ධයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරු කළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. ඝාණ විඤ්ඤාණය තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ඝාණ සම්ඵස්සය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. “දිව තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. රසයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරු කළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. ජිව්හා විඤ්ඤාණය තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ජිව්හා සම්ඵස්සය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. “කය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ස්පර්ශයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරු කළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. කාය විඤ්ඤාණය තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. කාය සම්ඵස්සය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කරන ලද්දාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. “සිත තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ධර්මයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරු කළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. මනෝ විඤ්ඤාණය තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. මනෝ සම්ඵස්සය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. “මහණෙනි, යමක් වනාහි තොපගේ නොවන්නේද, එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.
1. 10. 10.
උද්දක සූත්රය
103. “මහණෙනි, උද්දක නම් රාමපුත්රතෙම මෙබඳු වචනයක් කියයි.
‘ මම ඒකාන්තයෙන් වේදගූ (- මම ඒකාන්තයෙන් සියළු වෘත්තය දැන මැඩ පවත්වා සිටියේ) වෙමි. මම ඒකාන්තයෙන් සියල්ල ජයගත්තේ වෙමි. ඒකාන්තයෙන් සාරා නොදමන ලද ගණ්ඩමූලය (- දුක් මුල) සාරා දැමුවෙමි’ යනුයි.
“මහණෙනි, උද්දක රාමපුත්රතෙම වෙදගූ නොවූයේම (වේදයෙහි පරතෙරට නොගියේම) ‘වෙදගූ වෙමි’යි කියයි. සියල්ල ජය නොගත්තේම ‘සියල්ල දිනුවෙමි’යි කියයි. සාරා නොදමන ලද දුක්මුල සාරා දැමුවෙමියි කියයි.
“මහණෙනි, මෙය වනාහි භික්ෂුතෙම මනාව කියන්නේ නම් මෙසේ කියන්නේය.
‘ඒකාන්තයෙන් මම වේදගූ වෙමි. ඒකාන්තයෙන් සියල්ල ජයගත්තේ වෙමි. ඒකාන්තයෙන් සාරා නොදමන ලද දුක්මුල සාරා දැමුවෙමි’ කියායි.
“මහණෙනි, කෙසේනම් භික්ෂුතෙම වේදගූ වේද? මහණෙනි, භික්ෂුතෙම යම් හෙයකින් සවැදෑරුම්වූ ස්පර්ශ ආයතනයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් දැනගනීද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂුතෙම වේදගූ වේ.