1. 10. 10.
උද්දක සූත්‍රය
103. “මහණෙනි, උද්දක නම් රාමපුත්‍රතෙම මෙබඳු වචනයක් කියයි.
‘ මම ඒකාන්තයෙන් වේදගූ (- මම ඒකාන්තයෙන් සියළු වෘත්තය දැන මැඩ පවත්වා සිටියේ) වෙමි. මම ඒකාන්තයෙන් සියල්ල ජයගත්තේ වෙමි. ඒකාන්තයෙන් සාරා නොදමන ලද ගණ්ඩමූලය (- දුක් මුල) සාරා දැමුවෙමි’ යනුයි.
“මහණෙනි, උද්දක රාමපුත්‍රතෙම වෙදගූ නොවූයේම (වේදයෙහි පරතෙරට නොගියේම) ‘වෙදගූ වෙමි’යි කියයි. සියල්ල ජය නොගත්තේම ‘සියල්ල දිනුවෙමි’යි කියයි. සාරා නොදමන ලද දුක්මුල සාරා දැමුවෙමියි කියයි.
“මහණෙනි, මෙය වනාහි භික්‍ෂුතෙම මනාව කියන්නේ නම් මෙසේ කියන්නේය.
‘ඒකාන්තයෙන් මම වේදගූ වෙමි. ඒකාන්තයෙන් සියල්ල ජයගත්තේ වෙමි. ඒකාන්තයෙන් සාරා නොදමන ලද දුක්මුල සාරා දැමුවෙමි’ කියායි.
“මහණෙනි, කෙසේනම් භික්‍ෂුතෙම වේදගූ වේද? මහණෙනි, භික්‍ෂුතෙම යම් හෙයකින් සවැදෑරුම්වූ ස්පර්‍ශ ආයතනයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් දැනගනීද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම වේදගූ වේ.
“මහණෙනි, කෙසේනම් භික්‍ෂුතෙම සියල්ල ජයගත්තේ වේද? මහණෙනි, යම් හෙයකින් භික්‍ෂුතෙම සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනව යද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් දැන උපාදාන රහිතව කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම සියල්ල ජයගත්තේ වේ.
“මහණෙනි, කෙසේනම් භික්‍ෂූහුගේ නොසාරා දමන ලද දුක්මුල සාරා දමන ලද්දේවේද, මහණෙනි, ගණ්ඩය යනු මාතා පිතෘ සම්භවයෙන් හටගත්තාවූ බතින් හා කොමුපිඬුවෙන් වැඩුනාවූ අනිත්‍යය, උච්ඡාදනය (ඇඟ ඉලීම) මැඬීම, බිඳීම, නැසීම, ස්වභාව කොට ඇත්තාවූ, මේ සතරමහා භූතයන්ගෙන් හටගත්තාවූ ශරීරයට නමකි. “මහණෙනි, ගණ්ඩමූලය යනු තෘෂ්ණාවට නමකි. මහණෙනි, යම් හෙයකින් භික්‍ෂූහුගේ තෘෂ්ණාව පහකරන ලද්දීද, මුල් සිඳින ලද්දීද, උදුරා දැමූ තල් ගසක්මෙන් කරන ලද්දීද, විනාශ කරන ලද්දීද, මත්තෙහි නූපදනා ස්වභාවයට පමුණුවන ලද්දීද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂූහුගේ නොසාරා දමන ලද ගණ්ඩමූලය සාරාදමන ලද්දේ වෙයි.
“මහණෙනි, උද්දක නම් රාමපුත්‍රතෙම මෙබඳු කීමක් කියයි. ‘මම ඒකාන්තයෙන් වේදගූ වෙමි, ඒකාන්තයෙන් සියල්ල දිනුවේ වෙමි, ඒකාන්තයෙන් නොසාරා දමන ලද ගණ්ඩමූලය සාරා දැමුවෙමි’ යනුයි.
“මහණෙනි, උද්දක රාමපුත්‍රතෙම වේදයෙහි කෙළවරට නොගියේම, ‘වේදයෙහි කෙළවරට ගියේ වෙමි’යි කියයි. සියල්ල ජය නොගත්තේම, ‘සියල්ල ජයගත්තේ වෙමි’යි කියයි. නොසාරා දමන ලද ගණ්ඩමූලයම, ‘සාරා දැමුවෙමි’යි කියයි.
“මහණෙනි, මෙහි වනාහි භික්‍ෂුතෙකම මනාකොට කියනු ලබන්නේ එය මෙසේ කියන්නේය. ‘මම ඒකාන්තයෙන් වේදයෙහි පරතෙරට ගියේ වෙමි, මම ඒකාන්තයෙන් සියල්ල ජය ගත්තේ වෙමි, ඒකාන්තයෙන් නොසාරා දමන ලද ගණ්ඩමූලය සාරා දැමුවෙමි’ කියායි,
ඡල වර්‍ගයයි.
එහි උද්දානය:
සඞ්ගය්හ සූත්‍ර දෙක ද, පරිහාන, පමාදවිහාරී හා සංවර සූත්‍ර ද, සමාධි, පටිසල්ලාන, නතුම්හාක සූත්‍ර දෙක ද, උද්දක සූත්‍රය ද (යන මෙහි සූත්‍ර දසයකි).
පණ්ණාසකය නිමි.
එහි වර්ග උද්දානය:
අවිජ්ජා, මිගජාල, ගිලාන, ඡන්න හා හතරවෙනි සූත්‍රය ද, ඡළ වර්ගයෙන් පනස පිරෙයි. මේ දෙවන පනස යි.