1. 10. 4.
පමාදවිහාරී සූත්‍රය
97. “මහණෙනි, ප්‍රමාදව වාසය කරන්නාවූ පුද්ගලයාද අප්‍රමාදව වාසය කරන්නාවූ පුද්ගලයාද තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, කෙසේනම් ප්‍රමාදව වාසය කරන්නේ වෙයිද? “මහණෙනි, චක්ඛු ඉන්ද්රියයාගේ සංවරයක් නැතිව වාසය කරන්නහුගේ සිත චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි ක්ලේශයන්ගෙන් තෙත්වේ. ඒ ක්ලේශයන්ගෙන් තෙත්වූ සිත් ඇත්තහුගේ ප්‍රමෝදය (දුර්වල ප්‍රීතිය) නොවෙයි. දුර්වල ප්‍රීතිය නැති කල්හි බලවත් ප්‍රීතිය නොවෙයි, බලවත් ප්‍රීතිය නැති කල්හි පසසඬිය (දාහසංසිඳීම) නොවෙයි. පසසඬිය නැති කල්හි දුකසේ වාසය කරයි. දුක් ඇත්තහුගේ සිත එකඟ නොවෙයි. එකඟ නොවූ සිත ඇති කල්හි සමථ විදර්ශනා ධර්මයෝ පහල නොවෙත්. ධර්මයන්ගේ පහල නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණේ.
“මහණෙනි, සෝත ඉන්ද්රියයෙහි සංවරයක් නැතිව වාසය කරන්නහුගේ -පෙ- මහණෙනි, ඝාණ ඉන්ද්රියයෙහි සංවරයක් නැතිව වාසය කරන්නහුගේ -පෙ- මහණෙනි, ජිව්හා ඉන්ද්රියයෙහි සංවරයක් නැතිව වාසය කරන්නහුගේ සිත ජිව්හා විඤ්ඤාණයෙන් දත යුතු රසයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් වෙයි. කෙලෙසුන්ගෙන් තෙත් වූ සිත් ඇති ඔහුට ප්‍රමෝදය (දුර්වල ප්‍රීතිය) නොවෙයි -පෙ- මහණෙනි, කාය ඉන්ද්රියයෙහි සංවරයක් නැතිව වාසය කරන්නහුගේ -පෙ- මහණෙනි, මනෝ ඉන්ද්රියයෙහි සංවරයක් නැතිව වාසය කරන්නහුගේ සිත මනෝ විඤ්ඤාණයෙන් දත යුතු ධර්මයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් වෙයි. කෙලෙසුන්ගෙන් තෙත් වූ සිත් ඇති ඔහුට ප්‍රමෝදය (දුර්වල ප්‍රීතිය) නොවෙයි. ප්‍රමෝදය නැති කල්හි ප්‍රීතිය (බලවත් ප්‍රීතිය) නොවෙයි. ප්‍රීතිය නැති කල්හි සංසිඳීම (පස්සද්ධිය) නොවෙයි. සංසිඳීම නැති කල්හි දුකසේ වාසය කරයි. දුක් ඇත්තහුගේ සිත එකඟ නොවෙයි. සිත එකඟ නොවූ කල්හි (සමථ විදර්ශනා) ධර්මයෝ පහළ නොවෙත්. ධර්මයන් පහළ නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේ යැයි ගණනට යයි. මහණෙනි, මෙසේ වනාහි ප්‍රමාදව වාසය කරන්නේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් අප්‍රමාදව වාසය කරන්නේ වේ ද? මහණෙනි, චක්ඛු ඉන්ද්රියයෙහි සංවර ඇතිව වාසය කරන්නහුගේ සිත චක්ඛු විඤ්ඤාණයෙන් දත යුතු රූපයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවෙයි. කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සිත් ඇත්තහුට ප්‍රමෝදය (දුර්වල ප්‍රීතිය) උපදියි. ප්‍රමෝදය ඇත්තහුට ප්‍රීතිය (බලවත් ප්‍රීතිය) උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. සිත එකඟ වූ කල්හි සමථ විදර්ශනා ධර්මයෝ පහළ වෙත්. ධර්මයන් පහළ වීමෙන් අප්‍රමාදව වාසය කරන්නේ යැයි ගණනට යයි.
“මහණෙනි, සෝත ඉන්ද්රියයෙහි සංවර ඇතිව වාසය කරන්නහුගේ -පෙ- මහණෙනි, ඝාණ ඉන්ද්රියයෙහි සංවර ඇතිව වාසය කරන්නහුගේ -පෙ- මහණෙනි, ජිව්හා ඉන්ද්රියයෙහි සංවර ඇතිව වාසය කරන්නහුගේ -පෙ- මහණෙනි, කාය ඉන්ද්රියයෙහි සංවර ඇතිව වාසය කරන්නහුගේ -පෙ- මහණෙනි, මනෝ ඉන්ද්රියයෙහි සංවර ඇතිව වාසය කරන්නහුගේ සිත මනෝ විඤ්ඤාණයෙන් දත යුතු ධර්මයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවෙයි. කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සිත් ඇත්තහුට ප්‍රමෝදය (දුර්වල ප්‍රීතිය) උපදියි. ප්‍රමෝදය ඇත්තහුට ප්‍රීතිය (බලවත් ප්‍රීතිය) උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. සිත එකඟ වූ කල්හි සමථ විදර්ශනා ධර්මයෝ පහළ වෙත්. ධර්මයන් පහළ වීමෙන් අප්‍රමාදව වාසය කරන්නේ යැයි ගණනට යයි. මහණෙනි, මෙසේ වනාහි අප්‍රමාදව වාසය කරන්නේ වෙයි.”
1. 10. 5.
සංවර සූත්‍රය
98. “මහණෙනි, තොපට සංවරයද අසංවරයද දේශනා කරන්නෙමි, එය අසව්. මහණෙනි, කෙසේනම් අසංවරය වේද, මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇලුම් කරන්නාවූ රූපයෝ වෙත්. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, මහණෙනි, භික්ෂුව විසින් මෙය කුශල ධර්මයන්ගෙන් පිරිහීමයයි දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාළේයයි දතයුතුයි.
“මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇලුම් කරන්නාවූ ශබ්දයෝ වෙත්. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, මහණෙනි, භික්ෂුව විසින් මෙය කුශල ධර්මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇලුම් කරන්නාවූ ගන්ධයෝ වෙත්. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, මහණෙනි, භික්ෂුව විසින් මෙය කුශල ධර්මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇලුම් කරන්නාවූ රසයෝ වෙත්. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, මහණෙනි, භික්ෂුව විසින් මෙය කුශල ධර්මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇලුම් කරන්නාවූ ස්පර්ශයෝ වෙත්. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, මහණෙනි, භික්ෂුව විසින් මෙය කුශල ධර්මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇලුම් කරන්නාවූ ධර්මයෝ වෙත්. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, මහණෙනි, භික්ෂුව විසින් මෙය කුශල ධර්මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී. මහණෙනි, මෙසේ වනාහි අසංවරය වෙයි.