9. 1. 43.
විලෙපනදායක ඕපපාතික සූත්රය
434. ...පෙ... විලවුන් දෙයි ...පෙ... උපදියි.
9. 1. 44.
සෙය්යදායක ඕපපාතික සූත්රය
435. ...පෙ... සයනයන් දෙයි ...පෙ... උපදියි.
9. 1. 45.
ආවසථදායක ඕපපාතික සූත්රය
436. ...පෙ... ආවාස දෙයි ...පෙ... උපදියි.
9. 1. 46.
පදීපෙය්යදායක ඕපපාතික සූත්රය
437. ...පෙ... පහන් දෙයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ඕපපාතික ගුරුළන් හා එක්වීමට පැමිණෙයි.
මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ඕපපාතික ගුරුළන් හා එක්වීමට පැමිණෙයි ද මේ වනාහි එයට හේතුවයි. මේ වනාහි ප්රත්යයයි. (මෙසේ පිණ්ඩ වශයෙන් සූත්ර හතළිස් හයක් වෙයි.)
පළමු වන සුපණ්ණ වර්ගයයි.
එහි සූත්ර නාමාවලිය :
සුද්ධික සූත්රයද, ද්වයකාරී සූත්ර සතරද, දානුපකාර සූත්ර හතළිසදැයි මේ සංයුත්තයෙහි සූත්ර හතළිස් හයකි.
නවවෙනි සුපණ්ණ සංයුත්තය නිමි.
10. ගන්ධබ්බ කාය සංයුත්තය
1. ගන්ධබ්බ වර්ගය
10. 1. 1.
1. සුද්ධික සූත්රය
438. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මම නුඹලාට ගන්ධබ්බකායික දෙවියන් ගැන දේශනා කරන්නෙමි, එය අසවු.
“මහණෙනි, ගන්ධබ්බකායික දෙවියෝ කවරහුද? මහණෙනි, මූලගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. සාර (හරය) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, ඵෙග්ගු (ඵලය) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි. තව (සිවිය) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි පපටිකා (රුක්පොතු) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, පත්ර (කොල) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, පුෂ්ප (මල්) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, ඵල (ගෙඩි) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, රස ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, ගන්ධ ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි. මොවුහු ගන්ධර්ව කායික දෙවතාවෝයයි කියනු ලැබේ.”
10. 1. 2.
2. සුචරිත සූත්රය
439. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ මහණ තෙමේ භාග්යවතුන් වහන්සේට මේ කාරණය කීයේය: “ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්වකෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ගන්ධර්ව කායික දෙවියන් හා එක්වීමට පැමිණේද, (එයට) හේතුව කවරේද? ප්රත්යය කවරේද?
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරෙයි. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි. සිතින් සුචරිතයෙහි හැසිරෙයි. ගන්ධර්වකායික දෙවතාවෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණ ඇත්තාහ. සැප බහුලකොට ඇත්තාහයි ඔහු විසින් අසන ලද්දේවෙයි. ඔහුට මෙබඳු සිතක්වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ගන්ධබ්බකායික දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් ඉතා හොඳය’ කියායි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ගන්ධර්වකායික දෙවියන් හා එක්වීමට පැමිණෙයි.
“මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ගන්ධර්වකායික දෙවියන් හා එක්වීමට පැමිණෙයි නම් (එයට) මේ හේතුවයි. මේ ප්රත්යයයි.”