1. සුපණ්ණ වර්ගය
9. 1. 1.
සුද්ධික සූත්‍රය
392. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක.
මහණෙනි, මේ ගුරුළු යෝනීහු සතරකි. කවර සතරක්ද යත්? අණ්ඩජ ගුරුළෝය. ජලාබුජ ගුරුළෝය. සංසෙදජ ගුරුළෝය. ඕපපාතික ගුරුළෝය යනුයි. මහණෙනි, මේ සතර ගුරුළු යෝනීහුය.
9. 1. 2.
හරන්ති සූත්‍රය
393. සැවැත්නුවරදී ය.
මහණෙනි, මේ ගුරුළු යෝනීහු සතරකි. කවර සතරක්ද යත්? අණ්ඩජ ගුරුළෝය. ජලාබුජ ගුරුළෝය. සංසෙදජ ගුරුළෝය. ඕපපාතික ගුරුළෝය යනුයි.
මහණෙනි, ඒ ගුරුළන් අතරෙහි අණ්ඩජ ගුරුළෝ අණ්ඩජ නාගයන් පැහැර ගනිත්, ජලාබුජ නාගයන් පැහැර නොගනිත්. සංසෙදජ නාගයන් පැහැර නොගනිත්. ඕපපාතික නාගයන් පැහැර නොගනිත්.
මහණෙනි, ඒ ගුරුළන් අතුරෙහි ජලාබුජ ගුරුළෝ අණ්ඩජ නාගයන්ද ජලාබුජ නාගයන්ද පැහැර ගනිත්. සංසෙදජ නාගයන් පැහැර නොගනිත්. ඕපපාතික නාගයන් පැහැර නොගනිත්.
මහණෙනි, ඒ ගුරුළන් අතරෙහි සංසෙදජ ගුරුළෝ අණ්ඩජ නාගයන්ද ජලාබුජ නාගයන්ද සංසෙදජ නාගයන්ද පැහැර ගනිත්. ඕපපාතික නාගයන් පැහැර නොගනිත්.
මහණෙනි, ඒ ගුරුළන් අතරෙහි ඕපපාතික ගුරුළෝ අණ්ඩජ, ජලාබුජ සංසෙදජ, ඕපපාතික නාගයන් පැහැර ගනිත්. මහණෙනි මේ සතර ගුරුළු යොනීහුය.
9. 1. 3.
ද්වයකාරී සූත්‍රය
394. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය : ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙයි. මෙයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?
මහණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් කයින් දෙපරිද්දෙකින් ක්‍රියා කරන්නේ වෙයි. වචනයෙන් දෙපරිද්දෙකින් ක්‍රියා කරන්නේ වෙයි. සිතින් දෙපරිද්දෙකින් ක්‍රියා කරන්නේ වෙයි. අණ්ඩජ ගුරුළෝ බොහෝ ආයුෂ ඇත්තාහ. වර්ණවන්තයහ. සැප බහුලකොට ඇත්තාහයි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි “මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙන්නෙම් ඉතා හොඳය”යි කියායි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙයි.
මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙයිද මේ වනාහි එයට හේතුවයි. මේ වනාහි ප්‍රත්‍යයයි.
9. 1. 4-6.
දුතිය, තතිය, චතුත්ථ ද්වයකාරී සූත්‍ර
395-397. සැවැත්නුවරදී ය.
එක් පසෙක හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය: ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ජලාබුජ ගුරුළන් හා එක්වීමට පැමිණෙයි ද ...පෙ... සංසෙදජ ගුරුළන් ...පෙ... ඕපපාතික ගුරුළන් හා එක්වීමට පැමිණෙයි ද, මෙයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?
මහණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් කයින් දෙපරිද්දෙකින් ක්‍රියා කරන්නේ වෙයි, වචනයෙන් දෙපරිද්දෙකින් ක්‍රියා කරන්නේ වෙයි, සිතින් දෙපරිද්දෙකින් ක්‍රියා කරන්නේ වෙයි. ඔහුට මෙසේ අසන්නට ලැබෙයි “ඕපපාතික ගුරුළෝ දීර්ඝායුෂ්කයහ, වර්ණවන්තයහ, සැප බහුල ඇත්තාහ” යි. ඔහුට මෙසේ සිතෙයි: “අහෝ! මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ඕපපාතික ගුරුළන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් මැනවැ” යි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ඕපපාතික ගුරුළන් හා එක්වීමට පැමිණෙයි. මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ඕපපාතික ගුරුළන් හා එක්වීමට පැමිණෙයි නම් මේ එයට හේතුවයි, මේ ප්‍රත්‍යයයි.
9. 1. 7.
අන්නදායක අණ්ඩජ සූත්‍රය
398. සැවැත්නුවරදී ය.
එක් පසෙක හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය: ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙයි ද, මෙයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?
මහණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් කයින් දෙපරිද්දකින් ක්‍රියා කරයි. වචනයෙන් දෙපරිද්දකින් ක්‍රියා කරයි. සිතින් දෙපරිද්දකින් ක්‍රියා කරයි. අණ්ඩජ ගුරුළෝ බොහෝ ආයුෂ ඇත්තාහ. වර්ණ වන්තයහ. සැප බහුල කොට ඇත්තාහයි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙමි නම් ඉතා හොඳය’ කියායි. හෙතෙම ආහාර දෙයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක් වීමට පැමිණෙයි.