7. 1. 9.
නිරොධ සමාපත්ති සුත්තං
340. එක් කලෙක ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවරට නුදුරෙහිවූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ උදය කාලයෙහි හැඳපොරවා පාත්‍ර සිවුරුගෙන සැවැත්නුවරට පිඬු පිණිස පැමිණියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් හැරී එන්නේ අන්ධවනය යම් තැනකද එතැන්හි දවල් කාලය ගෙවීම පිණිස පැමිණියහ. අන්ධවනයට පැමිණ එක්තරා ගසක් මුල හුන්නේය. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගී සිටියේ ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමය යම් තැනකද එතැන්හි පැමිණියහ.
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුරදීම දැක්කේය. දැක, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙසේ කීය. “ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, ඔබවහන්සේගේ ඉන්ද්‍රියයෝ ප්‍රසන්නයහ. මුහුණු වර්ණය පිරිසිදුය. අතිශයින්ම පිරිසිදුය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අද කවර විහරණයකින් වාසය කළ සේක්ද?” යනුයි.
[3] “ඇවැත්නි, මම මෙහි සියලු ආකාරයෙන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයන් ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරමි. මහණෙනි, ඒ මට ‘මම සඤ්ඤාවෙදයිත නිරෝධ සමවතට සමවදිමියි කියා හෝ, මම සඤ්ඤාවෙදයිත නිරෝධ සමවතට පැමිණියෙමි කියා හෝ, මම සඤ්ඤාවෙදයිත සමවතින් නැගී සිටිමි කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” කීහ.
[4] “ඒ එසේමය, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි මමය. මාගේයයි ගන්නා දෘෂ්ටි මාන අනුශය ධර්මයෝ මනාකොට නසන ලදහ. එබැවින් ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට ‘මම සඤ්ඤාවෙදයිත නිරෝධයට සමවදිමියි කියා හෝ, මම සඤ්ඤාදයිත නිරෝධයට සමවැදුණෙමියි කියා හෝ, මම සඤ්ඤාවෙදයිත නිරෝධයෙන් නැඟී සිටියෙමියි කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙම කීය.)
7. 1. 10.
සූචිමුඛී සුත්තං
341. [1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් සැරියුත් තෙරුන්වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පැමිණියහ. රජගහනුවර ගෙපිළිවලින් පිඬු පිණිස හැසිර ඒ පිණ්ඩපාතය එක්තරා බිත්ති අද්දරක හිඳ වළඳති. [2] එකල්හි වනාහි සුචිමුඛී නම් පරිබ්‍රාජිකාවක් ආයුෂ්මත් සැරියුත් තෙරුන් යම් තැනකද එතැනට පැමිණියාය. පැමිණ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීය. ‘ශ්‍රමණය කුමක් නිසා බිම බලාගෙන අනුභව කරන්නෙහිද?”
“නැගනියෙනි, මම බිම බලාගෙන නොවළඳමි.” “එසේනම් ශ්‍රමණය, උඩ බලාගෙන වළඳන්නෙහිද?”
“නැගනියනි, මම උඩ බලාගෙන නොවළඳමි.”
“එසේ නම් ශ්‍රමණය, සතර දිශාවන් බලමින් වළඳන්නෙහිද?”
“නැගනියනි, මම සතර දිශාවන් බලමින් නොවළඳමි”
“එසේ නම් ශ්‍රමණය, අනු දිශාවන් බලමින් වළඳන්නෙහිද?”
“නැගනියනි, මම අනු දිශාවන් බලමින් නොවළඳමි.”
[3] “කිමෙක්ද ශ්‍රමණය, බිම බලාගෙන වළඳන්නෙහිදැයි අසන ලද්දේ, ‘නැගනියනි, මම බිම බලාගෙන නොවළඳමි’යි කීයෙහිය. එසේනම් ශ්‍රමණය, උඩ බලාගෙන වළඳහි දැයි අසන ලද්දේ, ‘නැගනියනි, මම උඩ බලාගෙන නොවළඳමි’යි කීයෙහිය. ‘එසේනම් ශ්‍රමණය, සතර දිශාවන් බලමින් වළඳහි දැයි අසන ලද්දේ, ‘නැගනියනි, මම සතර දිශාවන් බලමින් නොවළඳමි’යි කීයෙහිය කිමෙක්ද ශ්‍රමණය, අනු දිශාවන් බලමින් වළඳහිදැයි විචාරන ලද්දෙම්, “මම අනුදිශාවන් බලමින් නොවළඳමියි’ කීයෙහිය. ශ්‍රමණය, කෙසේ අනුභව කරහිදැයි ඇසුවාය.”
“නැගනියනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ වාස්තු විද්‍යාවයයි (පොළොවෙහි හොඳ නරක කියන ශාස්ත්‍රය) කියන ලද තිරිසන් විද්‍යාවවූ වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව කරත්ද, නැගනියනි, මේ මහණ බමුණෝ බිම බලාගෙන වළඳන්නෝ වෙත්.
නැගනියෙනි, යම්කිසි මහණ බමුණු කෙනෙක් නක්ෂත්‍ර විද්‍යාවයි කියන ලද තිරිසන් විද්‍යාවවූ වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව කරත්ද, ‘නැගනියනි, මේ මහණ බමුණෝ උඩ බලාගෙන කන්නෝ වෙත්’
‘නැගනියනි යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් පණිවිඩපනත් ගෙන යෑමයයි කියන ලද තිරිසන් විද්‍යාවවූ වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව කරත්ද, නැගනියනි, මේ මහණ බමුණෝ සතර දිශාවන් බලමින් අනුභව කරත්.
“නැගනියනි, යම්කිසි මහණ බමුණු කෙනෙක් අංග ලක්ෂණ විද්‍යාවයයි කියන ලද තිරිසන් විද්‍යාවවූ වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව කරත්ද, නැගනියනි, මේ මහණ බමුණෝ අනුදිශාවන් බලමින් අනුභව කරත්.
‘නැගනියෙනි, වාස්තු විද්‍යාවයයි කියන ලද තිරිසන් විද්‍යාවවූ වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව නොකරමි. නක්ෂත්‍ර විද්‍යාවයයි කියන ලද වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව නොකරමි. පණිවිඩ පණත් ගෙන යෑමයයි කියන ලද වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව නොකරමි. අංගවිද්‍යාවයයි කියන ලද තිරිසන් විද්‍යාවූ වැරදි දිවි පැවැත්මෙන් ජීවිකාව නොකරමි. දැහැමින් භික්ෂාව සොයමි. දැහැමින් භික්ෂාව සොයා අනුභව කරමි” යනුයි.