4. 1. 1.
1. චක්ඛු සූත්‍රය
302. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ඡේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි’යි කියා භික්ෂූන්හට කථාකළ සේක. ‘ස්වාමීනි’යි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඇස අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. කණ අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. නාසය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. දිව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස් වන ස්වභාවය. ශරීරය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. සිත අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය.
“මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට මිදෙයිද, ආර්ය මාර්ගයට බැසගත්තාවූ, සත්පුරුෂ භූමියට බැසගත්තාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරි පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුස්සෙක් වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කලුරිය කිරීමට නුසුදුස්සෙක් වෙයි.
මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් අවබෝධයට පැමිණෙත්ද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට බැසගත්තාවූ සත්පුරුෂ භූමියට බැසගත්තාවූ පෘථග්ජනභූමිය ඉක්මවූ ධම්මානුසාරි පුද්ගලයා යයි කියනු ලැබේ. “හෙතෙමේ යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණේද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි.
මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ දනියිද, මෙසේ දකියිද, මේ පුද්ගල තෙමේ අපායෙහි නොවැටීම ස්වභාව කොට ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”
4. 1. 2.
2. රූප සූත්‍රය
303. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි. රූපය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. ශබ්දය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. ගඳ අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. රසය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. ස්පර්ශ අනිත්‍යය, පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. ධර්මය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය.
“මහණෙනි, යමෙක් මේ ධර්මයෝ මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට ගෙන මිදෙයිද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. “හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කලුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙද්ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේතලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි.”
“මහණෙනි, යමෙක් මේ ධර්මය මෙසේ දනියිද, දකියිද, හෙතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”
4. 1. 3.
3. චක්ඛු විඤ්ඤාණ සූත්‍රය
304. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, චක්ඛු විඤ්ඤාණය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. සොත විඤ්ඤාණය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. ඝාන විඤ්ඤාණය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. කාය විඤ්ඤාණය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. මනොවිඤ්ඤාණය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය.
“මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට ගෙන මිදෙයිද මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භුමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. “හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේතලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙද්ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේතලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙක් මේ ධර්මය මෙසේ දනියිද, දකියිද හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”
4. 1. 4.
4. ඵස්ස සූත්‍රය
305. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරනලදී.)
“මහණෙනි, චක්ඛුසම්ඵස්සය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. සොතසම්ඵස්සය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. ඝානසම්ඵස්සය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. ජිව්හා සම්ඵස්සය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. කාය සම්ඵස්සය අනිත්‍යය පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. මනො සම්ඵස්සය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. “මහණෙනි. යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට ගෙන මිදෙයිද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේතලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසුවෙයි. “මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙද්ද මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ගඵලයට නොපැමිණෙයිද, ඒතාක් කලුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙක් මේ ධර්මය මෙසේ දනියිද දකියිද හෙතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”
4. 1. 5.
5. වේදනා සූත්‍රය
306. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, චක්ඛුස්පර්ශයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. සොතස්පර්ශයෙන් හටගන්නා වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය, ඝාණස්පර්ශයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. ජිව්හාස්පර්ශයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. කායස්පර්ශයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. මනොස්පර්ශයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. “මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොටගෙන මිදෙයිද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ, සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, එතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙද්ද මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ ධර්මානුසාරී පුද්ගලයායි. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලයට නොපැමිණෙයිද ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙක් මේ ධර්මය මෙසේ දනියිද, දකියිද, හෙතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයා යයි කියනු ලැබේ.”