3. 4. 26.
අදුක්ඛමසුඛී අත්තා සූත්රය
301. සැවැත් නුවරදීය:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් උපාදානය කොට, කුමක් වෙත එළඹ මෙසේ දෘෂ්ටි උපදීද: “මරණින් මතු ආත්මය නිදුක් වූයේ අදුක්ඛමසුඛී (දුක් නැත්තේද සැප නැත්තේද) වෙයි” කියායි.
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ
මහණෙනි, රූපය ඇති කල්හි රූපය උපාදානය කොට රූපය වෙත එළඹ මෙසේ දෘෂ්ටි උපදී: “මරණින් මතු ආත්මය නිදුක් වූයේ අදුක්ඛමසුඛී වෙයි” කියායි.
වේදනාව ඇති කල්හි -පෙ- සංඥාව ඇති කල්හි -පෙ- සංස්කාර ඇති කල්හි -පෙ- විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය උපාදානය කොට විඤ්ඤාණය වෙත එළඹ මෙසේ දෘෂ්ටි උපදී: “මරණින් මතු ආත්මය නිදුක් වූයේ අදුක්ඛමසුඛී වෙයි” කියායි.
මහණෙනි, ඒ කුමක් යැයි සිතන්නහුද? රූපය නිත්ය හෝ වෙයිද අනිත්ය හෝ වෙයිද?
ස්වාමීනි, අනිත්යය. -පෙ- විපරිණාම ධර්මයකි. එය ‘මෙය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය’යි දැකීමට සුදුසුද?
ස්වාමීනි, මෙය නොවේම ය.
වේදනාව -පෙ- සංඥාව -පෙ- සංස්කාර -පෙ- විඤ්ඤාණය නිත්ය හෝ වෙයිද අනිත්ය හෝ වෙයිද? -පෙ- විපරිණාම ධර්මයකි. එය ‘මෙය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය’යි දැකීමට සුදුසුද?
ස්වාමීනි, මෙය නොවේම ය.
එහෙයින් මහණෙනි, අතීතවූද අනාගතවූද වර්තමානවූද යම්කිසි රූපයක් ඇද්ද -පෙ- එය යහපත් ප්රඥාවෙන් දැකිය යුතුය. යම්කිසි වේදනාවක් -පෙ- යම්කිසි සංඥාවක් -පෙ- යම්කිසි සංස්කාරයක් -පෙ- යම්කිසි විඤ්ඤාණයක් අතීතවූද අනාගතවූද වර්තමානවූද -පෙ- එය යහපත් ප්රඥාවෙන් දැකිය යුතුය.
මහණෙනි, මෙසේ දක්නාවූ ආර්ය ශ්රාවක තෙමේ රූපයෙහිද කළකිරෙයි, වේදනාවෙහිද කළකිරෙයි, සංඥාවෙහිද කළකිරෙයි, සංස්කාරයන්හිද කළකිරෙයි, විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරුණේ නොඇලෙයි, නොඇලුනේ මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇතිවෙයි. ජාතිය ක්ෂයවිය, බ්රහ්මචර්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරණ ලදී. මින්මතු කළ යුතු දෙයක් නැතැයි දැනගනියි.
සතරවන ගමන වර්ගය (පෙය්යාල වර්ගය) සිව්වැනියි.
එහි උද්දානය:
වාත, එතං මම, සො අත්තා, නො ච මෙ සියා, නත්ථි, කරතො, හෙතු සහ මහාදිට්ඨ යන සූත්රයෙන් අටවැනිය වේ. සස්සත, අසස්සත, අන්ත, අනන්ත, තං ජීවං තං සරීරං, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං සහ තථාගත සූත්ර සතරක් ද වේ. රූපී අත්තා, අරූපී අත්තා, රූපී ච අරූපී ච අත්තා, නේව රූපී නාරූපී අත්තා, ඒකාන්ත සුඛී අත්තා, ඒකාන්ත දුක්ඛී අත්තා, සුඛදුක්ඛී අත්තා, අදුක්ඛමසුඛී අත්තා යැයි ද මෙහි වේ.
දිට්ඨිසංයුත්තං සමත්තං.