3. 1. 8.
මහාදිට්ඨි සුත්තං
213. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: “මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට බැසගෙන ‘කිසිවෙකු විසින් නොකරණලද කිසිවෙකුගේ විධානය නොකරණ ලද කිසිවෙකු විසින් නිර්මානය නොකරනලද නිර්මානය නොකරවනලද පර්වත කූටයක් මෙන් නිශ්ඵලවූ ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලවූ ධර්ම සමූහ හතක් වෙත්. ඔව්හු නො සැලෙත්, ප්‍රකෘතිය නොහරිත්, ඔවුනොවුන්ට බාධා නොකරත්. ඔවුනොවුන්ට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැප දුක් පිණිස හෝ නොසමත් වෙත්. ඒ සත්ධර්ම සමූහයෝ කවරහුද?
“පෘථුවිධාතු සමූහය, අපෝධාතු සමූහය, තේජෝ ධාතු සමූහය, වායෝධාතු සමූහය, සුඛධාතු සමූහය, දුක්ඛධාතු සමූහය, ජීවධාතු සමූහය යන මේ ධාතු සමූහයා (කිසිවෙකු විසින්) නොකරණලදහ. කිසි විධානයක් නොකරණලදහ. කිසිවෙකු විසින් නොමවනලදහ. කිසිවෙකු විසින් මැවීම නොකරවනලදහ. (ඵල රහිත හෙයින්) වඳයහ. පර්වතකූටයක් මෙන් නිශ්චලව සිටියහ. ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටියාහ. ඔව්හු නොසැලෙත්, ප්‍රකෘතිය නොහරිත්, ඔවුනොවුන් නොගැටෙත්, සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නොසමත් වෙත්. යමෙක් තියුණු ආයුධයකින් හිස සිඳීද, (එයින්) කිසිවෙක් කිසිවෙක් ජීවිතයෙන් තොර නොකරයිද, සත්වැදෑරුම්වූ ශරීරයන්ගේ අතරෙන්ම ආයුධය ඇතුල්වෙයි, ගමන් කරයි.
‘මේ වනාහි ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදී උත්තමයෝනීන් සම්බන්ධ තුදුස් ලක්ෂ හයදහස් හයසියයක්ද, කර්ම පන්සියයක්ද කර්ම පසක්ද, කර්ම තුනක්ද, කායවාක්කර්ම දෙකක්ද, මනෝකර්ම නම්වූ අර්ධ කර්මයද, දෙසැටක් ප්‍රතිපදාවෝද, දෙසැටක් අන්තර කල්පයෝද, කෘෂ්ණාදී ශ්‍රේෂ්ඨ ජාති සයක්ද, මන්දාදී පුරිෂ භූමි අටද, ආජීවකවෘත්ති එක්සිය නවසාළිසක්ද, පරිව්‍රාජක ප්‍රව්‍රජ්‍යා එකසිය සතළිස් නවයක්ද, නාග මණ්ඩල එකසිය හතළිස් නවයක්ද, ඉන්ද්‍රියය එකසිය විස්සක්ද, නිරය එකසිය තිහක්ද, අත් පා පිටු ආදී රාජොධාතු තිස් හයක්ද, ඔටු ගවාදී සංඥී ගර්භ සතක්ද, සාලියවාදී අසංඥී ගර්භ සතක්ද, උක් ආදී නිර්ඝණ්ඨි ගර්භ සතක්ද, දෙවයෝනි සතක්ද නොහොත් බොහෝ දෙවියෝද, මනුෂ්‍ය යෝනි සතක්ද නොහොත් බොහෝ මනුෂ්‍යයෝද, පිසාචයෝනි සතක්ද, මහාවිල් සතක්ද, ගැට සතක්ද, මහා ප්‍රපාත සතක්ද, කුඩා ප්‍රපාත එකසිය සතක්ද, මහා ස්වප්න සතක්ද, කුඩා ස්වප්න එකසිය හතක්ද චූලාසීති මහා කල්ප ලක්ෂයක්ද ගෙවා බාලයෝද, පණ්ඩිතයෝද, භවයෙන් භවය ගමන් කොට (සසර) සැරිසරා දුක් කෙළවර කරන්නාහ.
එහි මම මේ අචේලක සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්යාවෙන් හෝ මුහුකිරීමට නොපැමිණි කර්මය හෝ මුහුකුරුවන්නෙමි. මුහුකිරීමට ගියාවූ කර්මය හෝ ස්පර්ශ කරමින් ගෙවීම කරන්නෙමැයි කියාද, මෙසේ නැත්තේය. නැලියෙන් මැණ ප්‍රමාණ කරණලද්ද මෙන් සසර සුවදුක් කියනලද කාල ප්‍රමාණයෙන් කෙළවර කළ කල්හි (සසර) අඩුවීමක් හෝ වැඩිවීමක් නැත්තේය. උසස් බවක් හෝ පහත් බවක් නැත්තේය. වෙලනලද නූල් බෝලයක් (පර්වතයක හෝ ගසක් අඩ සිට) විසිකරණලද්දේ යම්සේ ලිහෙමින්ම යයිද, (නූල අවසන්වූ කල්හි එහිම නතර වෙයිද) එපරිදිම බාලයෝද, පණ්ඩිතයෝද, භවයෙන් භවයට ගමන් කරමින් සුවදුක් කෙළවර කරති,’ යන මේ දෘෂ්ටි උපදීද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය.” “මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව් කියන්නෙ මැයි” කීය. “ස්වාමීනි, එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, රූපය ඇතිකල්හි රූපය නිසා රූපය දැඩි වශයෙන් ගෙන රූපයට බැසගෙන ‘මේ සත්වැදෑරුම් කායයෝ... සුඛදුක්ඛං පලෙන්තී’ති එවං දිට්ඨි උප්පජ්ජති. වේදනාව ඇති කල්හි... සංඥාව ඇති කල්හි... සංස්කාර ඇති කල්හි... විඤ්ඤාණය ඇතිකල්හි විඤ්ඤාණය නිසා විඤ්ඤාණය දැඩිවශයෙන් ගෙන, විඤ්ඤාණයට බැසගෙන ‘මේ සත්වැදෑරුම් කායයෝ... සුඛදුක්ඛං පලෙන්තී’ති එවං දිට්ඨි උප්පජ්ජති.”
“මහණෙනි, ඒ කුමැයි සිතව්ද? රූපය නිත්‍යය හෝ අනිත්‍ය හෝ වෙයිද?”
“ස්වාමීනි, අනිත්‍යය.”