3. 1. 9.
සස්සතලොක සුත්තං
214. [1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පැමිණ “ලෝකය සදාකාලිකය යන මේ දෘෂ්ටිය උපදීද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ ප්රභවකොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. ස්වාමීනි මේ කීමේ අදහස භාග්යවතුන් වහන්සේ විසින්ම වදාරණ සේක්නම් මැනවි.” “මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය. “ස්වාමීනි, එසේයයි,” ඒ භික්ෂූහු, භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ ‘ලෝකය සදාකාලිකය යන’ මේ දෘෂ්ටි උපදියි. වේදනාව ඇතිකල්හි... සංඥාව ඇතිකල්හි... සංස්කාර ඇති කල්හි... විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පැමිණ ‘ලෝකය සදාකාලිකය’ යන මේ දෘෂ්ටි උපදියි.
“මහණෙනි, ඒ කුමකැයි සිතව්ද? රූපය නිත්ය හෝ අනිත්ය හෝ වෙයිද?”
“ස්වාමීනි, අනිත්යය”
“යමක් වනාහි අනිත්යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්යද, දුකද, වෙනස්වෙන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ‘ලෝකය සදාකාලිකය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?”
“ස්වාමීනි, එය නොවන්නේමය”
“වේදනාව... සංඥාව... සංස්කාරයෝ... විඥාණය... ඇසින් දකිනලද, කණින් අසනලද, නාසය දිව කය යන තුනෙන් දැනගන්නා ලද සිතින් දන්නා ලද පැමිණෙන ලද සොයනලද විමසනලද යම් ඒ දෙයක්වේද, එයද නිත්යය හෝ අනිත්ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්යය.”
“යමක් වනාහි අනිත්යනම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩි වශයෙන් නොගෙන ‘ලෝකය සදාකාලිකය’ යන මේ දෘෂ්ටි උපදින්නේද?”
“ස්වාමීනි. එය නොවන්නේමය.”
“මහණෙනි, යම්තැනක පටන් ආර්යශ්රාවකයාහට මේ කරුණු සයෙහි පැවති සැක දුරුවූයේ වෙයිද, ඔහුට දුක පිළිබඳවද සැකදුරුවූයේ වෙයි, දුක්ඛ සමුදය පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරෝධයෙහිද සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදාව පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. මහණෙනි, මේ ආර්යශ්රාවකතෙමේ සෝවාන් මඟපලට පැමිණියෙකැයිද, සතර අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද, නියත ගති ඇත්තෙකැයිද අර්හත් ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”
3. 1. 10.
අසස්සත ලොකසුත්තං
215. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, ‘මහණෙනි’යි කියා භික්ෂූන්ට කථාකළ සේක. ‘ස්වාමීනි’යි, කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, කුමක් ඇතිකල්හි, කුමක් නිසා, කුමකට පැමිණ ‘ලෝකය සදාකාලික නොවේ’ යන මේ දෘෂ්ටිය උපදීද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ ප්රභව කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. මේ කීමේ අදහස කුමක්ද? භාග්යවතුන් වහන්සේ වදාරන සේක්නම් මැනවි.” “මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය. “ස්වාමීනි, එසේයයි,” ඒ භික්ෂූහු, භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ ‘ලෝකය සදාකාලික නොවේ’ යන මේ දෘෂ්ටිය උපදියි. වේදනාව ඇති කල්හි... සංඥාව ඇති කල්හි... සංස්කාර ඇති කල්හි... විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පැමිණ ලෝකය අසදාකාලික හෙවත් අසාස්වතය කියා මෙසේ දෘෂ්ටිය උපදියි.
“මහණෙනි, ඒ කුමකැයි සිතව්ද? රූපය නිත්ය හෝ වේද? අනිත්ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්යය.”