3. 1. 6.
නත්ථි කරොථ සූත්‍රය. (2)
211. [1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට බැසගෙන (පව්කම්) කරන්නාහටද කරවන්නාහටද අත් පාද ආදිය සිඳින්නාහටද සින්දවන්නාහටද පීඩාකරන්නා හටද පීඩා කරවන්නාහටද ශෝක ඇතිකරන්නාහටද අනුන් ලවා සෝක කරවන්නාහටද ක්ලාන්ත කරන්නාහටද ක්ලාන්ත කරවන්නාහටද බඳින්නාහටද බන්දවන්නාහටද ප්‍රාණඝාත කරන්නාහටද සොරකම් කරන්නාහටද ගෙවල් බිඳින්නාහටද ගම්පහරන්නාහටද ගේ වට කර බඩු පැහැර ගන්නාහටද මගරැක සිට අන්සතු දෙය පැහැර ගන්නා හටද පරඹුවන් කරා යන්නාහටද බොරුකියන්නාහටද පව් කරන්නාහටද පාපයක් නැත. කඩු හාත්පස ඇති චක්‍රයකින් යමෙක් පෘථිවියෙහි වූ සියලු ප්‍රාණීන් එකම මස් රැසක් එකම මස් ගොඩක් කරන්නේද ඒ නිසා වන පවක් නැත. පාපයාගේ පැමිණීමක්ද නැත. නසමින් ඝාතනය කරමින් සිඳිමින් සින්දවමින් පීඩාකරමින් පීඩා කරවමින් ගංගානදියෙහි දකුණු ඉවුර තෙක් යන්නේද, ඒ හේතුකොට ගෙන වන පවක් නැත. පාපයාගේ පැමිණීමක්ද නැත, දන්දෙමින් දෙවමින් මහාදාන සංඛ්‍යාත යාගකරමින් යාග කරවමින් ගංගා නදියෙහි උතුරු ඉවුරු දක්වා ඉදින් යන්නේද ඒ හේතුකොටගෙන වන පිනක් නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත. දීම කරණකොට ගෙනද ඉන්ද්‍රිය දමනය කරණ කොට ගෙනද සීල සංයමය කරණකොට ගෙනද සත්‍ය වචනය කරණ කොට ගෙනද වන්නාවූ පිණක් නැත, පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත,’ යන මේ දෘෂ්ටි උපදීද?
[2] “ස්වාමීනි, අපගේ දහම් භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය.” “මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය. “ස්වාමීනි, එසේයයි,” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “මහණෙනි, රූපය ඇති කල්හි කුමක් නිසා රූපයට බැසගෙන... දෘෂ්ටි උපදියි. [4] “වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට බැසගෙන... දෘෂ්ටිය උපදියි. [5] “සංඥාව ඇති කල්හි සංඥාව නිසා සංඥාවට බැසගෙන... දෘෂ්ටිය උපදියි. [6] “සංස්කාරයන් ඇති කල්හි සංස්කාරයන් නිසා සංස්කාරයන්ට බැසගෙන... දෘෂ්ටිය උපදියි. [7] “විඥානය ඇති කල්හි විඥානය නිසා බැස ගෙන... දෘෂ්ටි උපදියි.
[8] “මහණෙනි, ඒ කුමකැයි සිතව්ද? “රූපය නිත්‍ය ද අනිත්‍යද?”
“ස්වාමීනි, අනිත්‍යයි.” “යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - ‘ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්න ස්වභාවද, එය දැඩි කොට නොගෙන ‘කරන්නාහටද, කරවන්නාහටද, අත්පා ආදිය සිඳින්නාහටද, සින්දවන්නාහටද, පීඩාකරන්නාහටද, පීඩාකරවන්නා හටද, සෝක ඇති කරන්නාහටද, අනුන් ලවා සෝක කරවන්නාහටද, ක්ලාන්ත කරන්නාහටද, ක්ලාන්ත කරවන්නාහටද, බඳින්නාහටද, බන්දවන්නාහටද, ප්‍රාණඝාත කරන්නාහටද, සොරකම් කරන්නාහටද, ගෙවල් බිඳින්නා හටද ගම් පහරන්නාහටද, ගේ වටකර බඩු පැහැරගන්නා හටද, මග රැක සිට අන් සතු දෙය පැහැරගන්නාහටද, පරඹුවන් කරා යන්නාහටද බොරු කියන්නාහටද, පව් කරන්නාහටද, පාපයක් නැත. කඩු හාත්පස ඇති චක්‍රයකින් යමෙක් පෘථිවියෙහිවූ සියලු ප්‍රාණීන් එකම මස් රැසක් එකම මස් ගොඩක් කරන්නේද, ඒ නිසා වන පාපයක් නැත. පාපයාගේ පැමිණීමක්ද නැත. නසමින්, ඝාතනය කරමින්, සිඳිමින්, සින්දවමින්, පීඩාකරමින්, පීඩාකරවමින්, ගංගා නදියෙහි දකුණු ඉවුරතෙක් යන්නේද, ඒ හේතුකොට ගෙන වන පවක් නැත. පාපයාගේ පැමිණීමක්ද නැත. දන් දෙමින් දෙවමින් මහාදාන සංඛ්‍යාත යාග කරමින් යාගකරවමින්, ගංගානදියෙහි උතුරු ඉවුර දක්වා ඉදින් යන්නේද, ඒ හේතු කොටගෙන වන පිනක් නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත. දීම කරණකොටගෙනද, ඉන්ද්‍රිය දමනය කරණකොට ගෙනද, සීල සංයම කරණකොටගෙනද, සත්‍යවචනය කරණකොටගෙනද වන්නාවූ පිණක් නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?”
“ස්වාමීනි, නොවන්නේමය.”
[9] “වේදනාව නිත්‍යද? අනිත්‍යද?” [10] “සංඥාව නිත්‍යද? අනිත්‍යද?” [11] “සංස්කාර නිත්‍යද? අනිත්‍යද?” [12] “විඥානය නිත්‍යද? අනිත්‍යද?” [13] “ඇසින් දකින ලද කණින් අසන ලද, නාසය දිව කය යන තුනෙන් දන්නා ලද, සිතින් දැනගන්නා ලද, පැමිණෙන ලද, සොයන ලද, විමසන ලද, යම් මේ දෙයක් වෙයිද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?”
“ස්වාමීනි අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි. දුකය.” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් අනිත්‍යනම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් අනිත්‍යනම්. එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකයි.” “ස්වාමීනි අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය හෝ දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.”
“යමක්වනාහි අනිත්‍යයද දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන... දෘෂ්ටිය උපදින්නේද?” “යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන... දෘෂ්ටිය උපදින්නේද?” “යමක් වනාහි අනිත්‍යයද, දුකද වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන... දෘෂ්ටිය උපදින්නේද?” “යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන... දෘෂ්ටිය උපදින්නේද?” “යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්න ස්වභාවද, එය දැඩිකොට නොගෙන... දෘෂ්ටිය උපදින්නේද?”
“ස්වාමීනි, නොවන්නේමය.” “ස්වාමීනි, නොවන්නේමය.” “ස්වාමීනි, නොවන්නේමය.” “ස්වාමීනි, නොවන්නේමය.” “ස්වාමීනි, එය නොවන්නේමය.”
[14] “මහණෙනි, යම් තැනක පටන් ආර්යශ්‍රාවකයාගේ මේ කරුණු සයෙහි සැක දුරුවූයේවෙයිද, ඔහුට දුක පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. ඔහුට දුක්ඛ සමුදය පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. ඔහුට දුක්ඛ නිරෝධය පිළිබඳවද සැක දුරු වූයේ වෙයි. ඔහුට දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. “මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙමේ සෝතාපන්නයයිද, සතර අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තෙකැයිද, නියත ගති ඇත්තෙකැයිද, අර්හත් ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”
3. 1. 7.
නත්ථි හේතු සූත්‍රය
212. [1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට බැසගෙන ‘සත්ත්වයන්ගේ කෙලෙසීම පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ පිරිසිදු වෙත්. (දිව්‍ය ලොකාදියෙහි ඉපදීමට හේතුවන) බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ ශාලියවාදී සියලු ජීවීහු තමාවසඟයෙහි නොපවත්නාහු, බලරහිත වූවාහු, වීර්ය නැත්තාහු, නියම වශයෙන්ද, ඒ ඒ ජාතීන්හි ගමන්කිරීම වශයෙන්ද, ස්වභාව වශයෙන්ද, නොයෙක් ආකාරයට පැමිණියාහු තණ්හාභිජාති ආදී සවැදෑරුම් ශ්‍රේෂ්ඨ ජාතිවල සැප දුක් නැවත නැවත විඳිත්’ යන මෙබඳු දෘෂ්ටි උපදීද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය.” “මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය. “ස්වාමීනි එසේයයි,” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.