2. 2. 6.
දුක්ඛ ධර්ම සූත්‍රය
175. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, ‘දුක්ඛ ධර්මය, දුක්ඛ ධර්මයයි’ කියයි. ස්වාමීනි, දුක්ඛ ධර්මය නම් කවරේද?”
“රාධය, රූපය දුක්ඛධර්ම නම්වේ. වේදනාව දුක්ඛ ධර්ම නම්වේ. සංඥාව දුක්ඛ ධර්ම නම්වේ. සංස්කාර දුක්ඛ ධර්ම නම්වේ. විඤ්ඤාණය දුක්ඛ ධර්ම නම්වේ. රාධය, මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලෙයි. (ඵලයට පැමිණීමෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ (පහල) වෙයි. ජාතිය කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ භවය පිණිස මත්තෙහි කළයුත්තක් නැතැයි දනියි.
2. 2. 7.
අනත්ත සූත්‍රය
176. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ: “ස්වාමීනි, ‘අනාත්මය, අනාත්මයයි’ කියනු ලැබේ. ස්වාමීනි අනාත්මය කවරේද?”
“රාධය, රූපය අනාත්මය නම්වේ. වේදනාව අනාත්මය නම්වේ. සංඥාව අනාත්මය නම්වේ. සංස්කාර අනාත්ම නම්වේ. විඤ්ඤාණය අනාත්ම නම්වේ. රාධය මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලෙයි. (ඵලයට පැමිණීමෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ (පහල) වෙයි. ජාතිය කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ භවය පිණිස මත්තෙහි කළයුත්තක් නැතැයි දනියි.”
2. 2. 8.
අනත්තධම්ම සූත්‍රය
177. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, ‘අනාත්ම ධර්මය, අනාත්ම ධර්මයයි’ කියනු ලැබේ. ස්වාමීනි, අනාත්ම ධර්මය කවරේද?”
“රාධය, රූපය අනාත්ම ධර්ම නම්වේ. වේදනාව අනාත්ම ධර්ම නම්වේ සංඥාව අනාත්ම ධර්ම නම්වේ. සංස්කාරයන් අනාත්ම ධර්ම නම්වේ. විඤ්ඤාණය අනාත්ම ධර්ම නම්වේ. රාධය, මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද, කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලෙයි. (ඵලයට පැමිණීමෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ (පහල) වෙයි. ජාතිය කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ භවය පිණිස මත්තෙහි කළයුත්තක් නැතැයි දනියි” යනුයි.
2. 2. 9.
ඛයධම්ම සූත්‍රය
178. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, ‘ක්ෂය ධර්මය, ක්ෂය ධර්මයයි’ කියනු ලැබේ. ස්වාමීනි, ක්ෂය ධර්මය නම් කවරේද?”
“රාධය, රූපය ක්ෂයධර්ම නම්වේ. වේදනාව ක්ෂයධර්ම නම්වේ. සංඥාව ක්ෂයධර්ම නම්වේ. සංස්කාර ක්ෂයධර්ම නම්වේ. විඤ්ඤාණය ක්ෂයධර්ම නම්වේ. රාධය, මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලෙයි. (ඵලයට පැමිණීමෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුණේයයි නුවණ (පහල) වෙයි. ජාතිය කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලදී. මේ භවය පිණිස මත්තෙහි කළයුත්තක් නැතැයි දනියි” යනුයි.