2. 1. 5.
සමණ සුත්තං
164. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හිඳගත් රාධ භික්ෂුවට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. “රාධය, උපාදානස්කන්ධයෝ පස්දෙනෙක් වෙති. ඒ පස කවරේද? එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි. “රාධය, යම්කිසි ශ්රමණකෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ මේ පංච උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනිත්ද, රාධය, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ මාගේ ශ්රමණයන් අතරෙහි හෝ ශ්රමණයයි සම්මත නොවූවාහුය. බ්රාහ්මණයන් අතරෙහි හෝ බ්රාහ්මණ යයි සම්මත නොවූවාහුය. “ඒ ආයුෂ්මත්හු ශ්රමණ භාවයේ අර්ථය හෝ බ්රාහ්මණභාවයේ අර්ථය හෝ මෙලොවදීම තෙමේ විශේෂ නුවණින් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය නොකරත්.
“රාධය, යම් ශ්රමණකෙනෙක් හෝ බ්රාහ්මණකෙනෙක් හෝ මේ පංච උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදයද, ආදීනවයද නිස්සරණයද තත්වූ පරිදි දනිත්ද, රාධය, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ මාගේ ශ්රමණයන් අතුරෙහි හෝ ශ්රමණයයි සම්මත වූවාහුය. බ්රාහ්මණයන් අතුරෙහි හෝ බ්රාහ්මණයයි සම්මත වූවාහුය. “ඒ ආයුෂ්මත්හු ශ්රමණ භාවයේ අර්ථය හෝ බ්රාහ්මණභාවයේ අර්ථය හෝ මෙලොවදීම තෙමේ විශේෂ නුවණින් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරත්යයි” වදාළේය.
2. 1. 6.
දුතිය සමණ සුත්තං
165. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හුන් රාධ භික්ෂුවට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. “රාධය, උපාදානස්කන්ධයෝ පස්දෙනෙක් වෙති. ඒ පස කවරේද? එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය,” යනුයි.” “රාධය, යම් ශ්රමණ කෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ මේ පංච උපාදානස්කන්ධයන්ගේ හටගැනීමද, විනාශවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නො දනිත්ද, රාධය, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ මාගේ ශ්රමණයන් අතුරෙහි හෝ ශ්රමණයයි සම්මත නොවූවාහුය. බ්රාහ්මණයන් අතුරෙහි හෝ බ්රාහ්මණයයි සම්මත නොවූවාහුය. “ඒ ආයුෂ්මත්හු ශ්රමණ භාවයේ අර්ථය හෝ බ්රාහ්මණභාවයේ අර්ථය හෝ හෙතෙම යහපත් නුවණින් දැන ප්රත්යක්ෂකොට වාසය නොකරත්යයි” වදාළේය.
2. 1. 7.
සොතාපන්න සුත්තං
166. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුවට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. “රාධය, උපාදානස්කන්ධයෝ පස් දෙනෙක් වෙති. ඒ කවරේද? එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි.
“රාධය, යම් හෙයකින් ආර්ය ශ්රාවකතෙමේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ හටගැනීමද, විනාශවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි දනීද, රාධය, මේ ආර්ය ශ්රාවකතෙමේ සෝවාන්වූයේ දුගතියට නොපැමිණීම ස්වාභාව කොට ඇති අර්හත් ඵලයට නියතවූ අර්හත් ඵලය පිහිට කොට ඇති පුද්ගලයායි කියනු ලැබේ.”
2. 1. 8.
අරහන්ත සුත්තං
167. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හිඳ ගත්තේය. එකත්පසෙක හුන් රාධ භික්ෂුවට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “රාධය, උපාදානස්කන්ධයෝ පස්දෙනෙක් වෙත්. ඒ කවරේද? එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි.
“රාධය, යම් හෙයකින් මහණතෙමේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දැන උපාදානයන් කෙරෙන් මනාකොට මිදුනේ වෙයිද, රාධය, මේ මහණතෙමේද අර්හත්වූ, ආශ්රවයන් ක්ෂයකළාවූ වැස නිමවනලද බ්රහ්මචර්යාව ඇත්තාවූ, කරන ලද කටයුතු ඇත්තාවූ, බහා තබනලද බර ඇත්තාවූ, තමාගේ අර්ථයට පැමිණියාවූ විනාශ කළ භව බැඳුම් ඇත්තාවූ, මනාව දැන මිදුනාවූ පුද්ගලයායයි කියනු ලැබේයයි වදාළේය.
2. 1. 9.
ඡන්දරාග සුත්තං
168. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පසක හිඳ ගත්තේය. එකත්පසක හුන් රාධ භික්ෂුවට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“රාධය, රූපයෙහි වනාහි යම් කැමැත්තක් යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද එය දුරු කරව්. මෙසේ ඒ රූපය ප්රහීනවූයේ සිඳින ලද මුල් ඇත්තේ, සිඳිනලද තල් ගසක් මෙන් කරන ලද්දේ, නැතිකරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය. “වේදනාවෙහි වනාහි යම් කැමැත්තක්, යම් ඇල්මක් යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද, එය දුරු කරව්. මෙසේ ඒ වේදනාව ප්රහීනවූයේ සිඳිනලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ, නැති කරණ ලද්දේ, නැවත නොඉපදීම ස්වභාව කොට ඇත්තේ වන්නේය. “සංඥාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද, එය දුරු කරව් මෙසේ ඒ සංඥාව ප්රහීනවූයේ සිඳින ලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ, නැති කරණ ලද්දේ, නැවත නොඉපදීම ස්වභාව කොට ඇත්තේ වන්නේය. “සංස්කාරයන්හි වනාහි යම් කැමැත්තක්, යම් ඇල්මක් යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද, එය දුරුකරව්. මෙසේ ඒ සංස්කාරයන් ප්රහීනවූයේ සිඳින ලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ, නැති කරණ ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය. “විඤ්ඤාණයෙහි යම් කැමැත්තක්, ඇල්මක්, සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද, එය දුරු කරව්. මෙසේ ඒ විඤ්ඤාණය ප්රහීන වූයේ සිඳින ලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ, නැති කරණ ලද්දේ නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේයයි” වදාළේය.
2. 1. 10.
දුතිය ඡන්දරාග සුත්තං
169. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ රාධ භික්ෂුවට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“රාධය, රූපයෙහි වනාහි යම් කැමැත්තක්, ඇල්මක්, සතුටක්, යම් තෘෂ්ණාවක්, යම් උපාය උපාදාන කෙනෙක් අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන අභිනිවෙස අනුසය කෙනෙක් වෙත්ද, ඔවුන් දුරු කරව්. මෙසේ ඒ රූපය ප්රහීනවූයේ සිඳින ලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ, නැති කරණ ලද්දේ නැවත නොඉපදීම ස්වභාව කොට ඇත්තේ වන්නේය.