1. 3. 4. 14.
අනත්තානුපස්සනා සූත්‍රය
149. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ශ්‍රද්ධාවෙන් මහණවූ කුලපුත්‍රයාගේ ස්වභාවය මෙයවේ. යමෙක් රූපයෙහි අනාත්මය අනුව බලමින් වාසය කෙරේද, වේදනාවෙහි අනාත්මය අනුව බලමින් වාසය කෙරේද, සංඥාවෙහි අනාත්මය අනුව බලමින් වාසය කෙරේද, සංස්කාරයන්හි අනාත්මය අනුව බලමින් වාසය කෙරේද, විඤ්ඤාණයෙහි අනාත්මය අනුව බලමින් වාසය කෙරේද,
“හෙතෙම රූපයෙහි අනාත්මය අනුව බලමින් වාසය කරන්නේ, වේදනාවෙහි අනාත්මය අනුව බලමින් වාසය කරන්නේ, සංඥාවෙහි අනාත්මය අනුව බලමින් වාසය කරන්නේ, සංස්කාරයන්හි අනාත්මය අනුව බලමින් වාසය කරන්නේ, විඤ්ඤාණයෙහි අනාත්මය අනුව බලමින් වාසය කරන්නේ, “රූපය දැනගනියි. වේදනාව දැනගනියි. සංඥාව දැනගනියි සංස්කාරයන් දැනගනියි. විඤ්ඤාණය දැනගනියි. “හෙතෙම රූපය දැනගන්නේ, වේදනාව දැනගන්නේ, සංඥාව දැනගන්නේ, සංස්කාරයන් දැනගන්නේ, විඤ්ඤාණය දැනගන්නේ, “රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඤ්ඤාණයෙන් මිදෙයි” ඉපදීමෙන්, ජරාමරණයෙන්, සෝකයන්ගෙන්, හැඬීමෙන්, දුක්වලින්, දොම්නස්වලින්, වැලපීමෙන් මිදෙයි. දුකින් මිදේයයිද කියමි” යනුයි.
කුක්කුල වර්ගය නිමි.
එහි උද්දානය:
කුක්කුල සූත්‍රය, අනිච්ච සූත්‍ර තුනය, දුක්ඛ සූත්‍රය, අනත්ත සූත්‍ර තුන සහ කුලපුත්ත සූත්‍ර සතරදැයි මේ වර්ගයෙහි සූත්‍ර දොළොසකි.
5. දිට්ඨි වර්ගය
1. 3. 5. 1.
අජ්ඣත්ත සූත්‍රය
150. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි’යි කියා භික්ෂූන්ට කථාකළ සේක. ‘ස්වාමීනි’යි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා තමා පිළිබඳ සැප දුක් දෙක උපදියිද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය.
“මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා තමා පිළිබඳ සැප දුක උපදියි. වේදනාව ඇති කල්හි වේදනාව නිසා තමා පිළිබඳ සැප දුක උපදියි. සංඥාව ඇති කල්හි සංඥාව නිසා තමා පිළිබඳ සැප දුක උපදියි. සංස්කාරයන් ඇති කල්හි සංස්කාරයන් නිසා තමා පිළිබඳ සැප දුක උපදියි. විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය නිසා තමා පිළිබඳ සැප දුක උපදියි. “මහණෙනි, ඒ කුමැයි සිතන්නහුද? “රූපය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන ස්වභාව නම්, එය දැඩිකොට අල්ලා නොගැනීමෙන්, තමා පිළිබඳ සැප දුක් උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවේමය.”
“වේදනාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි අනිත්‍යය.” “සංඥාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “සංස්කාරයෝ නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “විඥාණය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම් පෙරළෙන ස්වභාව නම් එය දැඩිකොට අල්ලා නොගැනීමෙන් තමා පිළිබඳ සැප දුක් උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.” “යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව නම්, එය දැඩිකොට අල්ලා නොගැනීමෙන් තමා පිළිබඳ සැප දුක් උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.” “යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව නම්, එය දැඩිකොට අල්ලා නොගැනීමෙන් තමා පිළිබඳ සැප දුක් උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.” “යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව නම්, එය දැඩිකොට අල්ලා නොගැනීමෙන් තමා පිළිබඳ සැප දුක් උපදනේද?” - “ස්වාමීනි, එය එසේ නොවේමය.”
“මහණෙනි, මෙසේ බලන්නාවූ ආර්ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරුණේ නොඇලෙයි නොඇලීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදේ. මිදුණුකල්හි මිදුණේයයි දැනීම වේ. ජාති තොමෝ ක්ෂයවූවාය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතුකොට නිමවන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගන්නාලදී. (පළමුවෙනි අජ්ඣත්ත සූත්‍රය නිමි.)
1. 3. 5. 2.
එතං මම සූත්‍රය
151. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පිවිස ‘මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ දකීද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය.