1. 3. 4. 10.
තෙවන අනත්ත සූත්‍රය
145. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමිනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ (කැමැත්ත සහ ඇල්ම) ඡන්දරාගය දුරුකට යුතුය. මහණෙනි, අනාත්මය කවරේද?
“මහණෙනි, රූපය අනාත්මය. එහි තොපගේ (කැමැත්ත සහ ඇල්ම) ඡන්දරාගය දුරුකට යුතුය. වේදනාව අනාත්මය. එහි තොපගේ (කැමැත්ත සහ ඇල්ම) ඡන්දරාගය දුරුකට යුතුය. සංඥාව අනාත්මය. එහි තොපගේ (කැමැත්ත සහ ඇල්ම) ඡන්දරාගය දුරුකට යුතුය. සංස්කාරයෝ අනාත්මය. එහි තොපගේ (කැමැත්ත සහ ඇල්ම) ඡන්දරාගය දුරුකට යුතුය. විඥානය අනාත්මය. එහි තොපගේ (කැමැත්ත සහ ඇල්ම) ඡන්දරාගය දුරුකට යුතුය. “මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ (කැමැත්ත සහ ඇල්ම) ඡන්දරාගය දුරුකට යුතුයි.”
1. 3. 4. 11.
නිබ්බිදාබහුල සූත්‍රය
146. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ශ්‍රද්ධාවෙන් මහණවූ කුලපුත්‍රයාගේ ස්වභාවය මෙයවේ. යමෙක් රූපයෙහි කළකිරීම බහුලකොට වාසය කරන්නේද, වේදනාවෙහි කළකිරීම බහුලකොට වාසය කරන්නේද, සංඥාවෙහි කළකිරීම බහුලකොට වාසය කරන්නේද, සංස්කාරයන්හි කළකිරීම බහුලකොට වාසය කරන්නේද, විඥානයෙහි කළකිරීම බහුලකොට වාසය කරන්නේද?
“හෙතෙම රූපයෙහි කළකිරීම බහුලකොට වාසය කරන්නේ, වේදනාවෙහි කළකිරීම බහුලකොට වාසය කරන්නේ, සංඥාවෙහි කළකිරීම බහුලකොට වාසය කරන්නේ, සංස්කාරයන්හි කළකිරීම බහුලකොට වාසය කරන්නේ, විඤ්ඤාණයෙහි කළකිරීම බහුලකොට වාසය කරන්නේ, “රූපය විශේෂයෙන් දැනගනියි. වේදනාව විශේෂයෙන් දැනගනියි. සංඥාව විශේෂයෙන් දැනගනියි. සංස්කාරයන් විශේෂයෙන් දැනගනියි. විඤ්ඤාණය විශේෂයෙන් දැනගනියි. “හෙතෙම රූපය විශේෂයෙන් දැනගන්නේ, වේදනාව විශේෂයෙන් දැනගන්නේ, සංඥාව විශේෂයෙන් දැනගන්නේ, සංස්කාරයන් විශේෂයෙන් දැනගන්නේ, විඤ්ඤාණය විශේෂයෙන් දැනගන්නේ, “රූපයෙන් විශේෂයෙන් මිදෙයි. වේදනාවෙන් විශේෂයෙන් මිදෙයි. සංඥාවෙන් විශේෂයෙන් මිදෙයි. සංස්කාරයන්ගෙන් විශේෂයෙන් මිදෙයි. විඤ්ඤාණයෙන් විශේෂයෙන් මිදෙයි. ඉපදීමෙන්, ජරාමරණයෙන්, සෝකයෙන්, හැඬීමෙන් දුක් දොම්නස් වලින්, වැලපීමෙන් විශේෂයෙන් මිදෙයි. දුකින් විශේෂයෙන් මිදේයයිද කියමි.”
1. 3. 4. 12.
අනිච්චානුපස්සනා සූත්‍රය
147. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ශ්‍රද්ධාවෙන් මහණවූ කුලපුත්‍රයාගේ ස්වභාවය මෙයවේ. යමෙක් රූපයෙහි අනිත්‍යය අනුව, බලනසුලුව වාසය කෙරේද, වේදනාවෙහි අනිත්‍යය අනුව, බලනසුලුව වාසය කෙරේද, සංඥාවෙහි අනිත්‍යය අනුව, බලනසුලුව වාසය කෙරේද, සංස්කාරයන්හි අනිත්‍යය අනුව, බලනසුලුව වාසය කෙරේද, විඤ්ඤාණයෙහි අනිත්‍යය අනුව, බලනසුළුව වාසය කෙරේද?
“හෙතෙම රූපයෙහි අනිත්‍යය අනුව බලනසුලුව වාසය කරන්නේ, වේදනාවෙහි අනිත්‍යය අනුව, බලනසුලුව වාසය කරන්නේ, සංඥාවෙහි අනිත්‍යය අනුව බලනසුලුව වාසය කරන්නේ, සංස්කාරයන්හි අනිත්‍යය අනුව බලනසුලුව වාසය කරන්නේ, විඤ්ඤාණයෙහි අනිත්‍යය අනුව බලන සුලුව වාසය කරන්නේ. “රූපය විශේෂයෙන් දැනගනියි. වේදනාව විශේෂයෙන් දැනගනියි. සංඥාව විශේෂයෙන් දැනගනියි. සංස්කාරයන් විශේෂයෙන් දැනගනියි. විඤ්ඤාණය විශේෂයෙන් දැනගනියි. “හෙතෙම රූපය විශේෂයෙන් දැනගන්නේ, වේදනාව විශේෂයෙන් දැනගන්නේ, සංඥාව විශේෂයෙන් දැනගන්නේ, සංස්කාරයන් විශේෂයෙන් දැනගන්නේ, විඤ්ඤාණය විශේෂයෙන් දැනගන්නේ, “රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි. සංඥාවෙන් මිදෙයි. සංස්කාරයන්ගෙන් මිදෙයි. විඥානයෙන් මිදෙයි ඉපදීමෙන්, ජරාමරණයෙන්, සෝකයෙන්, හැඬීමෙන්, දුක් දොම්නස් වලින්, වැලපීමෙන් මිදෙයි දුකින් මිදේයයි ද කියමි.”
1. 3. 4. 13.
දුක්ඛානුපස්සී සූත්‍රය
148. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, ශ්‍රද්ධාවෙන් පැවිදිවූ කුලපුත්‍රයාගේ ස්වභාවය මෙයවේ. යමෙක් රූපයෙහි දුක අනුව බලමින් වාසය කරන්නේද, වේදනාවෙහි දුක අනුව බලමින් වාසය කරන්නේද, සංඥාවෙහි දුක අනුව බලමින් වාසයකරන්නේද, සංස්කාරයන්හි දුක අනුව බලමින් වාසය කරන්නේද, විඥානයෙහි දුක අනුව බලමින් වාසය කරන්නේද,