1. 3. 3. 10.
10. කොට්ඨිත සූත්‍රය
135. බාරාණසියං:
එකත්පසෙක වැඩ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් වහන්සේට මෙය කීහ: “ඇවැත් කොට්ඨිතයෙනි, ‘අවිද්‍යාව, අවිද්‍යාව’ යැයි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්‍යාව කවරේ ද? කොපමණකින් අවිද්‍යාවට පැමිණියේ වේ ද?”
ඇවැත්නි, මේ ශාසනයෙහි අශ්‍රැතවත් පෘථග්ජනයා රූපය නොදනියි, රූපයේ හටගැනීම (සමුදය) නොදනියි, රූපයේ නිරෝධය (නැතිවීම) නොදනියි, රූපයේ නිරෝධයට පමුණුවන ප්‍රතිපදාව (මාර්ගය) නොදනියි.
වේදනාව නොදනියි, වේදනාවේ හටගැනීම නොදනියි, වේදනාවේ නිරෝධය නොදනියි, වේදනාවේ නිරෝධයට පමුණුවන ප්‍රතිපදාව නොදනියි. සංඥාව නොදනියි, සංඥාවේ හටගැනීම නොදනියි, සංඥාවේ නිරෝධය නොදනියි, සංඥාවේ නිරෝධයට පමුණුවන ප්‍රතිපදාව නොදනියි. සංස්කාර නොදනියි, සංස්කාරවල හටගැනීම නොදනියි, සංස්කාරවල නිරෝධය නොදනියි, සංස්කාරවල නිරෝධයට පමුණුවන ප්‍රතිපදාව නොදනියි. විඥානය නොදනියි, විඥානයේ හටගැනීම නොදනියි, විඥානයේ නිරෝධය නොදනියි, විඥානයේ නිරෝධයට පමුණුවන ප්‍රතිපදාව නොදනියි. ඇවැත්නි, මෙය අවිද්‍යාව යැයි කියනු ලැබේ. මෙපමණකින් අවිද්‍යාවට පැමිණියේ වේ.”
මෙසේ කී කල්හි ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරතෙමේ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන්ට මේ කාරණය කීහ. “ඇවැත් කොට්ඨිතය, විද්‍යාවය, විද්‍යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, විද්‍යාව කවරේද? කොපමණකින් විද්‍යාවට පැමිණියේ වේද?”යනුයි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ රූපය දනියි. රූප සමුදය දනියි, රූපය නැතිකිරීම දනියි, රූපය නැති කිරීම පිණිස යා යුතු මාර්ගය දනියි. වේදනාව දනියි, වේදනා සමුදය දනියි. වේදනාව නැතිකිරීම දනියි, වේදනාව නැති කිරීම පිණිස යා යුතු මාර්ගය දනියි. සංඥාව දනියි, සංඥා සමුදය දනියි, සංඥාව නැති කිරීම දනියි. සංඥාව නැති කිරීම පිණිස යා යුතුමාර්ගය දනියි. සංස්කාරයන් දනියි, සංස්කාර සමුදය දනියි, සංස්කාරයන් නැතිකිරීම දනියි, සංස්කාරයන් නැති කිරීම පිණිස යා යුතු මාර්ගය දනියි. විඥානය දනියි, විඥානයාගේ හටගැනීම දනියි, විඥානය නැති කිරීම දනියි, විඥානය නැති කිරීම පිණිස යායුතු මාර්ගය දනියි. “ඇවැත්නි, මේ විද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින් විද්‍යාවට පැමිණියේද වෙයි,
අවිජ්ජා වර්ගය නිමි.
එහි උද්දානය:
සමුදය ධර්ම වශයෙන් සූත්‍ර තුනක්ද, අස්සාද සූත්‍ර වශයෙන් අනික් සූත්‍ර දෙකක්ද, සමුදය වශයෙන් සූත්‍ර දෙකක්ද, කොට්ඨිත සූත්‍ර වශයෙන් තුනක් දැයි මේ වර්ගයෙහි සූත්‍ර දසයකි.