1. 3. 1. 4.
පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
106. සැවැත් නුවරදී:
මහණෙනි, දැනගත යුතුවූ (දුරුකළ යුතුවූ) ධර්මයෝද, පිරිසිඳ දැනගැනීමද පිරිසිඳ දැනගත් පුද්ගලයාද දේශනා කරන්නෙමි. එය අසව්.
“මහණෙනි, පිරිසිඳ දැනගතයුතු ධර්ම කවරේද?” -
“මහණෙනි, රූපය පිරිසිඳ දැනගත යුතු ධර්මයකි. වේදනාව පිරිසිඳ දැනගතයුතු ධර්මයකි. සඤ්ඤාව පිරිසිඳ දැන ගතයුතු ධර්මයකි. සංස්කාර පිරිසිඳ දැනගතයුතු ධර්මයකි. විඤ්ඤාණය පිරිසිඳ දැනගත යුතු ධර්මයකි.” මහණෙනි, මේ පිරිසිඳ දැනගත යුතු ධර්මයෝයයි කියනු ලැබේ.
“මහණෙනි, පිරිසිඳ දැනගැනීම කවරේද?” -
“මහණෙනි, රාගයාගේ යම් ක්ෂයවීමක් වේද, දෝසයාගේ යම් ක්ෂයවීමක් වේද, මෝහයාගේ යම් ක්ෂයවීමක්වේද, මේ පිරිසිඳ දැනගැනීම යයි කියනු ලැබේ.”
“මහණෙනි, පිරිසිඳ දැනගත් පුද්ගලයා කවරෙක්ද?” -
“ඔහුට අර්හත් පුද්ගලයා යයි කිය යුතුය. යම්කිසි ආයුෂ්මත් කෙනෙක් මෙවැනි නම් ඇත්තේ මෙවැනි ගෝත්‍ර ඇත්තේ වේද, මහණෙනි, මේ තෙම පිරිසිඳ දැනගත් පුද්ගලයායයි කියනු ලැබේ.”
1. 3. 1. 5.
සමණ සූත්‍රය
107. සැවැත් නුවරදී:
‘මහණෙනි, උපාදානස්කන්ධ පසකි. කවර පසක්ද? එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන මොව්හුය.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් මේ පස් උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදයද ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදකිත්ද, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මාගේ ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණයයි සම්මත නොවූවාහුය. බ්‍රාහ්මණයන් අතරෙහි බ්‍රාහ්මණයයි සම්මත නොවූවාහුය. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ ඵලය හෝ බ්‍රාහ්මණ ඵලය හෝ මෙලොවදීම තෙමේම විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂව දැන ඊට පැමිණ වාසය නොකරත්.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ පස් උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දකිත්ද, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මාගේ ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණයයි සම්මත වූවාහුය. මාගේ බ්‍රාහ්මණයන් අතරෙහි බ්‍රාහ්මණයයි සම්මතවූවාහුය. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ අර්ථය හෝ බ්‍රාහ්මණ අර්ථය හෝ මෙලොවදීම දනිත්ද තෙමේම විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂව ඊට පැමිණ වාසය කරත්.
1. 3. 1. 6.
දුතිය සමණ සූත්‍රය
108. සැවැත් නුවරදී:
‘මහණෙනි, උපාදානස්කන්ධ පසකි. කවර පසක්ද? එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ පස් උපාදානස්කන්ධයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනිත්ද ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මාගේ ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණයයි සම්මත නොවූවාහුය. බ්‍රාහ්මණයන් අතරෙහි හෝ බ්‍රාහ්මණයයි සම්මත නොවූවාහුය. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ ඵලය හෝ බ්‍රාහ්මණ ඵලය හෝ මෙලොවදී තෙමේම විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂව දැන ඊට පැමිණ වාසය නොකෙරෙත්. මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ පස් උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි දකිත්ද, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මාගේ ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණයයි සම්මතවූවාහුය. මාගේ බ්‍රාහ්මණයන් අතරෙහි බ්‍රාහ්මණයයි සම්මතවූවාහුය. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ අර්ථය හෝ බ්‍රාහ්මණ අර්ථය හෝ මෙලොවදීම දනිත්ද, තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂව දැන ඊට පැමිණ වාසය කරත්.
1. 3. 1. 7.
සෝතාපන්න සූත්‍රය
109. සැවැත් නුවරදී:
මහණෙනි, උපාදානස්කන්ධ පසකි. කවර පසක්ද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි.
මහණෙනි, යම් හෙයකින් ආර්ය ශ්‍රාවකතෙමේ මේ පස් වැදෑරුම් උපාදානස්කන්ධයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිශ්ශරණයද, තත්වූ පරිදි දනීද, මහණෙනි, ඒ ආර්ය ශ්‍රාවකතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ, නියතවූ, අර්හත් බොධිය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.