1. 3. 1. 2.
දුක්ඛ සූත්රය
104. සැවැත් නුවරදී:
“මහණෙනි, තොපට දුකද, දුකට හේතුවද, දුකනැති කිරීමද, දුක නැති කිරීමේ මාර්ගයද දේශනා කරන්නෙමි. එය අසව්!
“මහණෙනි, දුක කවරේද?
ඊට උපාදානස්කන්ධ පසයයි කිය යුතුය.
කවර පසක්ද?
එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි. මහණෙනි, මේ දුකයයි කියනු ලැබේ.
“මහණෙනි, දුකට හේතුව කවරේද?
‘නැවත නැවත ඉපදීම ගෙනදෙන ඇලීමෙන් යුක්තවූ, ඒ ඒ අරමුණෙහි ඇලෙන්නාවූ යම් තෘෂ්ණාවක් වේද, එනම් කාම තෘෂ්ණාවය, භව තෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය, යනුයි. මහණෙනි, මේ දුකට හේතුවයයි කියනු ලැබේ.
“මහණෙනි, දුක නැති කිරීම කවරේද?”
“ඒ තෘෂ්ණාවගේ යම් මුළුමනින් දුරලීමක්, නැති කිරීමක්, අත් හැරීමක් මිදීමක්; නො ඇල්මක් වේද? මහණෙනි, මේ දුක නැති කිරීම යයි කියනු ලැබේ.”
“මහණෙනි, දුක නැති කිරීමේ ප්රතිපදාව කවරේද?”
“මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මැයි. එනම් සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනාවය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මොව්හුයි.” මහණෙනි, මේ දුක නැති කිරීමේ මාර්ගයයි කියනු ලැබේ.”
1. 3. 1. 3.
සක්කාය සූත්රය
105. සැවැත් නුවරදී:
“මහණෙනි, තමාද තමා ඇතිවීමේ හේතුවද, තමා නැති කිරීමද, තමා නැති කිරීමේ මාර්ගයද, දේශනා කරන්නෙමි. එය අසව්.
“මහණෙනි, තමා කවරේද?”
“පංච උපාදානස්කන්ධයයි කියයුතුය.”
“කවර පසක්ද?”
“එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය, යනුයි මහණෙනි, මේ තමායයි කියනු ලැබේ.”
“මහණෙනි, තමා ඇතිවීමේ හේතුව කවරේද?”
“නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ ඇලීමෙන් යුක්තවූ ඒ ඒ අරමුණෙහි ඇලෙන්නාවූ යම් ඒ තෘෂ්ණාවක් වේද, එනම් කාම තෘෂ්ණාවය, භව තෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය යනුයි.” මහණෙනි, මේ තමා ඇතිවීමේ හේතුවයයි කියනු ලැබේ.
“මහණෙනි, තමා නැති කිරීම කවරේද?” -
“ඒ තෘෂ්ණාවගේ යම් මුළුමනින් නැති කිරීමක්, අතහැරීමක්, දුරලීමක්, මිදීමක් නො ඇල්මක් වේද, මහණෙනි, මේ තමා නැති කිරීමයයි කියනු ලැබේ.”
“මහණෙනි, තමා නැති කිරීමේ මාර්ගය කවරේද?”-
“මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මැයි.” “ඒ කවරේද?” සම්යක්දෘෂ්ටිය, සම්යක් සංකල්පනාවය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යනුයි.” මහණෙනි, මේ තමා නැති කිරීමේ මාර්ගයයි කියනු ලැබේ.
1. 3. 1. 4.
පරිඤ්ඤෙය්ය සූත්රය
106. සැවැත් නුවරදී:
මහණෙනි, දැනගත යුතුවූ (දුරුකළ යුතුවූ) ධර්මයෝද, පිරිසිඳ දැනගැනීමද පිරිසිඳ දැනගත් පුද්ගලයාද දේශනා කරන්නෙමි. එය අසව්.
“මහණෙනි, පිරිසිඳ දැනගතයුතු ධර්ම කවරේද?” -
“මහණෙනි, රූපය පිරිසිඳ දැනගත යුතු ධර්මයකි. වේදනාව පිරිසිඳ දැනගතයුතු ධර්මයකි. සඤ්ඤාව පිරිසිඳ දැන ගතයුතු ධර්මයකි. සංස්කාර පිරිසිඳ දැනගතයුතු ධර්මයකි. විඤ්ඤාණය පිරිසිඳ දැනගත යුතු ධර්මයකි.” මහණෙනි, මේ පිරිසිඳ දැනගත යුතු ධර්මයෝයයි කියනු ලැබේ.
“මහණෙනි, පිරිසිඳ දැනගැනීම කවරේද?” -
“මහණෙනි, රාගයාගේ යම් ක්ෂයවීමක් වේද, දෝසයාගේ යම් ක්ෂයවීමක් වේද, මෝහයාගේ යම් ක්ෂයවීමක්වේද, මේ පිරිසිඳ දැනගැනීම යයි කියනු ලැබේ.”
“මහණෙනි, පිරිසිඳ දැනගත් පුද්ගලයා කවරෙක්ද?” -
“ඔහුට අර්හත් පුද්ගලයා යයි කිය යුතුය. යම්කිසි ආයුෂ්මත් කෙනෙක් මෙවැනි නම් ඇත්තේ මෙවැනි ගෝත්ර ඇත්තේ වේද, මහණෙනි, මේ තෙම පිරිසිඳ දැනගත් පුද්ගලයායයි කියනු ලැබේ.”