1. 2. 5. 9.
වාසිජටොපම සූත්රය (නාවා සූත්රය)
101. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, මම දන්නහුගේ දක්නහුගේ ආශ්රවයන්ගේ ක්ෂය කිරීම කියමි. නොදන්නහුගේ නොදක්නහුගේ නොකියමි.
මහණෙනි, කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආශ්රවයන් ක්ෂය වේද,
රූපය මෙසේය, රූපයගේ ඉපදීම මෙසේය, රූපයගේ විනාශය මෙසේය, වේදනාව මෙසේය, වේදනාවගේ ඉපදීම මෙසේය, වේදනාවගේ විනාශය මෙසේය, සංඥාව මෙසේය, සංඥාවගේ ඉපදීම මෙසේය, සංඥාවගේ විනාශය මෙසේය, සංස්කාරයෝ මෙසේය, සංස්කාරයන්ගේ ඉපදීම මෙසේය, සංස්කාරයන්ගේ විනාශය මෙසේය. විඥානය මෙසේය, විඥානයාගේ ඉපදීම මෙසේය, විඥානයාගේ විනාශය මෙසේය. මහණෙනි, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ ආශ්රවයන්ගේ ක්ෂය වෙයි.
මහණෙනි, භාවනා කිරීමෙහි නැවත නැවත යෙදී වසන මහණහට ඒකාන්තයෙන් මෙබඳු කැමැත්තක් උපදින්නේය. “මාගේ සිත දැඩිකොට අල්වා නොගෙන ආශ්රවයන්ගෙන් මිදෙන්නේ නම් ඉතා යෙහෙක (කියායි.) එතකුදුවුවත් ඔහුගේ සිත දැඩිකොට අල්වා නොගෙන ආශ්රවයන් කෙරෙන් නොමිදේ,
ඊට හේතු කවරේද?
කුමක් නොවඩනා ලද බැවින්ද,
ඔහුගේ (සිත) නොවැඩූ බැවිනැයි කිය යුතුය.
සතර සතිපට්ඨානයන් නොවඩනා ලද බැවින්ද, සතර සම්යක් ප්රධාන වීර්යයන් නොවඩනා ලද බැවින්ද, සතර ඍද්ධිපාදයන් නොවඩනාලද බැවින්ද, පඤ්චෙන්ද්රියයන් නොවඩනා ලද බැවින්ද පඤ්චබලයන් නොවඩනා ලද බැවින්ද, සප්ත බොධ්යංගයන් නොවඩන ලද බැවින්ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවඩනාලද බැවින්ද (වෙයි.)
මහණෙනි, යම්සේ වනාහි කිකිළියගේ බිජු අටක් හෝ දසයක් හෝ දොළසක් හෝ වෙද්ද, ඒ බිජු කිකිළිය විසින් මනාකොට සයනය නොකරන ලද්දාහු වෙද්ද, මනාකොට හාත්පස උණුසුම් නොකරන ලද්දාහු වෙද්ද, හාත්පස මනා කොට කුකුල් ගඳ නොගන්වන ලද්දාහු වෙද්ද, (එවිට) කිසිසේත් ඒ කිකිළියට ‘මාගේ කුකුළු පැටව් පා නිය අගින් හෝ මුවතුඩින් හෝ බිත්තර කටුව පළාගෙන සුවසේ පිටවන්නාහු නම් ඉතා මැනව’යි මෙබඳු කැමැත්තක් නූපදින්නේය. එතකුදුවුවත් ඒ කුකුළු පැටව් පා අගින් හෝ මුව තුඩින් හෝ බිත්තර කටුව පළාගෙන සුවසේ පිටවන්නට නුසුදුස්සෝම වෙති.
ඊට හේතු කවරේද?
මහණෙනි, ඒ කියන ලද ප්රකාරවූම කිකිළියගේ බිජු අටක් හෝ දසයක් හෝ දොළසක් හෝ වෙද්ද, ඒ බිජු කිකිළිය විසින් මත්තෙහි මනාකොට සයනය නොකරන ලද්දාහු වෙත්. මනාකොට හාත්පස උණුසුම් නොගන්වන ලද්දාහු වෙත්. මනාකොට කුකුළු ගඳ නොගන්වන ලද්දාහුවෙත්.
මහණෙනි, එපරිද්දෙන්ම භාවනා කිරීමෙහි නැවත නැවත නොයෙදී වසන මහණහට ‘මාගේ සිත (උපාදානයන් විසින්) අල්වා නොගෙන ආශ්රවයන් කෙරෙන් මිදෙන්නේ නම් ඉතා යෙහෙකැ’යි කිසිසේත් මෙබඳු සිතෙක් උපදින්නේද, එතකුදුවුවත් ඒ මහණහුගේ සිත දැඩිව අල්වා නොගෙන ආශ්රවයන්ගෙන් නොමිදේ.
ඊට හේතු කවරේද?
ඔහු විසින් නොවඩනා ලද බැවිනැයි කිය යුතුය.
කුමක්හු නොවඩනා ලද බැවින්ද?
සතර සතිපට්ඨානයන් නොවඩනා ලද බැවිනුදු, සතර සම්යක් ප්රධාන වීර්යයන් නොවඩනා ලද බැවිනුදු, සතර ඍද්ධිපාදයන් නොවඩනා ලද බැවිනුද, පඤ්චෙන්ද්රියන් නොවඩනා ලද බැවිනුදු, පඤ්චබලයන් නොවඩනා ලද බැවිනුදු, සප්තබොධ්යංගයන් නොවඩනාලද බැවිනුදු, ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවඩනාලද බැවිනුදු (වෙයි.)
මහණෙනි, භාවනා කිරීමෙහි නැවත නැවත යෙදී වසන මහණහට “(උපාදානයන් විසින්) තදින් අල්ලා නොගෙන මාගේ සිත ආශ්රවයන්ගෙන් මිදෙන්නේ නම් ඉතා යෙහෙකැ”යි කිසිසේත් මෙබඳු සිතෙක් උපදින්නේද, ඉක්බිති දැඩිකොට අල්ලා නොගෙන ආශ්රවයන්ගෙන් ඔහුගේ සිත මිදේ.
ඊට හේතු කවරේද?
ඔහු විසින් වඩනලද බැවිනැයි කිය යුතුය.
කුමක් වඩනලද බැවින්ද?
සතරසතිපට්ඨානයන් වඩනලද බැවිනුදු, සතර සම්යක් ප්රධානයන් වඩනලද බැවිනුදු, සතර ඍද්ධිපාදයන් වඩනලද බැවිනුදු, පඤ්චෙන්ද්රියයන් වඩන ලද බැවිනුදු, පඤ්ච බලයන් වඩනලද බැවිනුදු, සප්තබොධ්යංගයන් වඩනලද බැවිනුදු, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනලද බැවිනුදු (වෙයි.)
මහණෙනි, යම්සේ වනාහි කිකිළියගේ බිජු අටක් හෝ දසයක් හෝ දොළසක් හෝ වෙද්ද, ඒ බිජු කිකිළිය විසින් මනාකොට මත්තෙහි සයනය කරන ලද්දාහු වෙද්ද, මනාකොට හාත්පස උණුසුම් ගන්වන ලද්දාහු වෙද්ද, මනාකොට කුකුළුගඳ ගන්වන ලද්දාහු වෙද්ද, කිසිසේත් ඒ කිකිළියට ‘මාගේ කුකුළු පැටව් පා අගින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළාගෙන සුවසේ පිටතට නික්මෙන්නාහු නම් ඉතා යෙහෙකැ’යි මෙබඳු කැමැත්තක් නො උපදින්නේද, එතකුදු වුවත් ඒ කුකුළු පැටව් පා නිය අගින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළාගෙන සුවසේ පිටතට නික්මෙන්නට සුදුස්සෝම වෙති.
ඊට හේතු කවරේද?
මහණෙනි, ඒ ප්රකාරවූම කිකිළියගේ බිජු අටක් හෝ දසයක් හෝ දොළසක් හෝ වෙද්ද? ඒ බිජු කිකිළිය විසින් මනාව මත්තෙහි හෝනා ලද්දාහු වෙති. මනාව හාත්පස උණුසුම් ගන්වන ලද්දාහු වෙති. මනාව හාත්පස කුකුළු ගඳ ගන්වන ලද්දාහු වෙති.
මහණෙනි, එපරිද්දෙන්ම භාවනා කිරීමෙහි නැවත නැවත යෙදී වාසය කරන්නාවූ මහණහට කිසිසේත් (උපාදාන වශයෙන්) තදින් අල්ලා නොගෙන ආශ්රවයන්ගෙන් මාගේ සිත මිදෙන්නේ නම් ඉතා යෙහෙකැ’යි මෙබඳු කැමැත්තක් නො උපදින්නේද, එතකුදුවුවත් (උපාදාන වශයෙන්) නොගෙන ආශ්රවයන්ගෙන් ඔහුගේ සිත මිදෙයි.
ඊට හේතු කවරේද?
වැඩුණු බැවිනැයි කියයුතු වන්නේය.