1. 2. 5. 6.
සාමුද්දක සූත්‍රය
98. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
ඉක්බිති මහණෙක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තෙක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීයේය.
“ස්වාමීනි, යම් රූපයෙක් නිත්‍යවේද, ස්ථිරවේද, හැම කල්හි තිබේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තේ වේද, සදාකාලික දෙයක් මෙන් එසේම සිටින්නේද, (එබඳු) කිසි රූපයෙක් ඇත්තේද? “ස්වාමීනි, යම් වේදනාවක් තොමෝ නිත්‍යවේද, ස්ථිරවේද, හැමකල්හි තිබේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තීවේද, සදාකාලික වස්තුවක් වැනිව එසේම සිටින්නීද, (එබඳු) කිසි වේදනාවක් තොමෝ ඇත්තීද? “ස්වාමීනි, යම් සංඥාවක් තොමෝ නිත්‍යවේද, ස්ථිරවේද, සැම කල්හි තිබේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තීවේද, සදාකාලික වස්තුවක්සේ එපරිද්දෙන්ම සිටින්නීද? (එබඳු) කිසි සංඥාවක් තොමෝ ඇත්තීද? “ස්වාමීනි, යම් සංස්කාර කෙනෙක් නිත්‍යවෙද්ද, ස්ථිර වෙද්ද, හැමදා තිබෙද්ද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාහු වෙද්ද, සදාකාලික වස්තුවක් සමානව එපරිද්දෙන්ම සිටිද්ද, (එබඳු) කිසි සංස්කාර කෙනෙක් ඇත්තාහුද? “ස්වාමීනි, යම් විඥානයෙක් නිත්‍යවේද, ස්ථිරවේද, හැම කල්හි තිබේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තේවේද, සදාකාලික ද්‍රව්‍යයක් මෙන් එපරිද්දෙන්ම සිටින්නේද (එබඳු) කිසි විඥානයෙක් ඇත්තේද?
“මහණ, යම් රූපයෙක් නිත්‍යවේද, ස්ථිරවේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තේ වේද, සදාකාලික වස්තුවක් බඳුව එපරිද්දෙන්ම සිටින්නේද, (එබඳු) කිසි රූපයෙක් නැත්තේමය.
“මහණ, යම් වේදනාවක් තොමෝ නිත්‍යවන්නීද, ස්ථිර වන්නීද, හැමකල්හි තිබේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තීවේද, සදාකාලික දෙයක් මෙන් එසේම සිටින්නීද, (එබඳු) කිසි වේදනාවක් තොමෝ නැත්තීමය. “මහණ, යම් සංඥාවක් තොමෝ නිත්‍යවන්නීද, ස්ථිර වන්නීද, හැම කල්හි තිබෙන්නීද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තීවේද, සදාකාලික වස්තුවක්සේ එපරිද්දෙන්ම සිටින්නීද, (එබඳු) කිසි සංඥාවක් තොමෝ නැත්තීමය. “මහණ, යම් සංස්කාර කෙනෙක් නිත්‍යවෙද්ද, ස්ථිර වෙද්ද, හැමකල්හි තිබෙන්නීද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාහු වෙද්ද, සදාකාලික ද්‍රව්‍යයක් සමානව එසේම සිටින්නාහුද, (එබඳු) කිසි සංස්කාර කෙනෙක් නැත්තාහුමය. “මහණ, යම් විඥානයෙක් නිත්‍යවේද, ස්ථිරවේද, හැම කල්හි තිබේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තේ වේද, සදාකාලික වස්තුවක් බඳුව එසේම සිටින්නේද, (එබඳු) කිසි විඥානයෙක් නැත්තේමයයි”
1. 2. 5. 7.
ගද්දුල සූත්‍රය
99. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී ගියාවූ තණ්හාවෙන් බැඳුනාවූ නැවත නැවත ඇවිදින්නාවූ නැවත නැවත සැරිසරන්නාවූ සත්ත්වයන්ගේ මේ සසර නොදන්නා ලද කෙළවර ඇත්තේය, මුල් කොණ නොපෙනෙයි.
“මහණෙනි, යම්හෙයකින් මහමුහුද සිඳෙන්නේද, විශේෂයෙන් වියලෙන්නේද, විද්‍යමාන නොවේද, එබඳු කලක් වන්නේමය. මහණෙනි, අවිජ්ජාවෙන් වැසී ගියාවූ තණ්හාවෙන් බැඳුනාවූ නැවත නැවත දිවන්නාවූ නැවත නැවත සැරිසරන්නාවූ සත්ත්වයන්ගේ දුක් කෙළවර කිරීම මම නොකියමි.
“මහණෙනි, යම් කලෙක්හි මේ මහාමේරු පර්වතරාජයා දැවේද, වැනසේද, අවිද්‍යමාන වේද, ඒ කාලය වන්නේමය. මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු නැවත නැවත දිවන්නාවූ නැවත නැවත සැරිසරන්නාවූ සත්ත්වයන්ගේ දුක් කෙළවර කිරීම මම නොකියමි.
“මහණෙනි, යම්කලෙක මේ මහපොළොව දැවේද, වැනසේද, විද්‍යමාන නොවේද, ඒ කාලය වන්නේමය. මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු ඇවිදින්නාවූ, නැවත නැවත සැරිසරන්නාවූ, සත්ත්වයන්ගේ දුක් කෙළවර කිරීම මම නොම කියමි.
“මහණෙනි, යම්සේ වනාහි බලුදමෙන් බඳනාලද සුනඛ තෙම තදවූ මහ උලෙක හෝ කණුවක හෝ බඳනාලද්දේ එම උල හෝ කණුව හෝ වටේ නැවත නැවත දිවේද, අවට කරකැවේද, මහණෙනි, එපරිද්දෙන්ම ආර්යයන් නොදක්නාවූ ආර්ය ධර්මයෙහි අදක්ෂවූ ආර්ය ධර්මයෙහි නොහික්මුණාවූ සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නුවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු ඇසූ පිරූ තැන් නැත්තාවූ පෘථග්ජනතෙම රූපය ආත්ම වශයෙන් දක්නේය, තමා රූපය ඇත්තක් කොට හෝ තමා කෙරෙහි රූපය හෝ රූපයෙහි තමා හෝ දක්නේය.
වේදනාව ආත්ම වශයෙන් හෝ තමා වේදනාව ඇත්තක් කොට හෝ තමා කෙරෙහි වේදනාව හෝ වේදනාවෙහි තමා හෝ දක්නේය. සංඥාව ආත්ම වශයෙන් හෝ තමා සංඥාවක් ඇත්තක් කොට හෝ තමා කෙරෙහි සංඥාව හෝ සංඥාවෙහිලා තමා හෝ දක්නේය. සංස්කාරයන් ආත්ම වශයෙන් හෝ තමා සංස්කාරයන් ඇත්තක් කොට හෝ තමා කෙරෙහි සංස්කාරයන් හෝ සංස්කාරයන්හි තමා හෝ දක්නේය. විඥානය ආත්ම වශයෙන් හෝ තමා විඥානය ඇත්තක් කොට හෝ තමා කෙරෙහි විඥානය හෝ විඥානයෙහි තමා හෝ දක්නේය. “හෙතෙම රූපයෙහිම බැඳී දුවයි. නැවත නැවත පෙරලෙයි, වේදනාවෙහිම බැඳී දිවෙයි. නැවත නැවත පෙරලෙමින් පවතී. සංඥාවෙහිම බැඳී දුවයි, නැවත නැවත පෙරෙලෙමින් පවතී. සංස්කාරයන්හි බැඳී දුවයි, නැවත නැවත පෙරලෙමින් පවතී. විඥානයෙහිම බැඳී දුවයි, නැවත නැවත පෙරලෙමින් පවතී.
“හෙතෙම රූපය අනුව දුවන්නේ, පෙරලෙන්නේ, වේදනාව අනුව දුවන්නේ, පෙරලෙන්නේ, සංඥාව අනුව දුවන්නේ, පෙරලෙන්නේ, සංස්කාරයන් අනුව දුවන්නේ, පෙරලෙන්නේය, විඥානය අනුව දුවන්නේ, පෙරලෙන්නේ, රූපයෙන් නොමිදේ, වේදනාවෙන් නොමිදේ, සංඥාවෙන් නොමිදේ, සංස්කාරයන්ගෙන් නොමිදේ, විඥානයෙන් නොමිදේ, ඉපදීමෙන්ද ජරාවෙන්ද මරණයෙන්ද සෝකයෙන්ද, හැඬීමෙන්ද කායික දුකින්ද දොම්නසින්ද වැලපීමෙන්ද නොමිදේ, දුකින් නොමිදේ යයි මම කියමි.