1. 2. 5. 3.
ඵෙණ සූත්රය
95. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ අයොධ්යපුර සමීපයෙහි ගංගානම් නදීතෙර වැඩ වසනසේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ මහණෙනි, කියා භික්ෂූන් ඇමතූසේක. ඒ භික්ෂූහු ‘පින්වතුන් වහන්සැ’යි කියා භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මේ සූත්රය වදාළසේක.
“මහණෙනි. යම්සේ වනාහි මේ ගංගානදී තොමෝ මහත් පෙණපිඩු ගෙන එන්නේද, ඇස් ඇති පුරුෂයෙක් තෙම ඒ පෙණපිඩු දකින්නේය, බලන්නේය, නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේය. ඒ පෙණපිඩු දක්නාවූ බලන්නාවූ, නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඔහුට හිස්වූවක්ම වැටහෙන්නේය, ශූන්යවූවක්ම වැටහෙන්නේය, හර නැත්තක්වම වැටහෙන්නේය. “මහණෙනි, පෙණපිඩ පිළිබඳව කිනම් හරයක් වන්නේද?
“මහණෙනි, එපරිද්දෙන්ම තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම් රූපයක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් රූපයක් වේද, මහණතෙම ඒ රූපය දකියි, බලයි. නුවණින් නැවත නැවත පරීක්ෂා කර බලයි. ඒ රූපය බලන්නාවූ, සිතන්නාවූ, නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඔහුට හිස්වූවක්වම වැටහෙන්නේය, ශූන්යවූවක්ම වැටහෙන්නේය, හරනැති වූවක්ම වැටහෙන්නේය. “මහණෙනි, රූපයෙහි කිනම් හරයක් වන්නේද?
“මහණෙනි, යම්සේ වනාහි සරත් කාලයෙහි මහවැසි පොද ඇති වැසි වසින කල්හි දිය බුබුලු උපදීද, නැතිවේද, ඇස් ඇති පුරුෂයෙක් තෙම ඒ දිය බුබුලු දක්නේද, බලන්නේද, නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේද, ඒ දිය බුබුල දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ පුරුෂයාහට ඒ දිය බුබුල හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්යවූවකැයිම වැටහෙන්නේය, හර නැත්තකැයිම වැටහෙන්නේය. “මහණෙනි, දිය බුබුලේ කිනම් හරෙක් වන්නේද?
“මහණෙනි, එසේම වනාහි තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත අනාගත-වර්තමානවූ යම් වේදනාවක් වේද, දුරවූ හෝ ලඟවූ හෝ යම් වේදනාවක් වේද, මහණතෙම ඒ වේදනාව දකියි. බලයි. නුවණින් නැවත නැවත පරීක්ෂාකර බලයි. ඒ වේදනාව දකින්නාවූ, සිතන්නාවූ, නුවණින් නැවත නැවත පරීක්ෂා කොට බලන්නාවූ, ඔහුට හිස්වූවක්ම වැටහෙන්නේය, ශූන්ය වූවක්වම වැටහෙන්නේය, නිස්සාරවූවක්වම වැටහෙන්නේය. “මහණෙනි, වේදනාවේ කිනම් හරයක් වන්නේද?
“මහණෙනි, යම්සේ වනාහි ග්රීෂ්ම මාසයන්ගේ අන්තිම මාසයෙහි ඉරුමුදුනෙහි සිටි කල්හි මිරිඟුව සැලේද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මිරිඟුව දක්නේය, බලන්නේය, නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේය. දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ පුරුෂයාහට ඒ මිරිඟුව හිස්වූවකැයිම හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්යවූවකැයිම වැටහෙන්නේය, හර නැත්තකැයිම වැටහෙන්නේය. “මහණෙනි, මිරිඟුවෙහි කිනම් හරයක් වන්නේද?
“මහණෙනි, එපරිද්දෙන්ම තමා පිළිබඳවූ හෝ පිටතවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත අනාගත-වර්තමානවූ යම්කිසි සංඥාවක් වේද, දුරවූ හෝ ලඟවූ හෝ යම් සංඥාවක් වේද, මහණතෙම ඒ සංඥාව දකියි, බලයි, නුවණින් නැවත නැවත පරීක්ෂා කෙරෙයි. ඒ සංඥාව දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ මහණහට (ඒ සංඥාව) හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්ය වූවකැයිම වැටහෙන්නේය, හර නැත්තකැයිම වැටහෙන්නේය. මහණෙනි, සංඥාවගේ කිනම් හරෙක් වන්නේද?