1. 2. 3. 7.
ඛජ්ජනීය සූත්රය
79. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, පෙර විසූ උත්පත්ති පිළිවෙළ සිහිකරන්නාවූ යම්කිසි ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ නොයෙක් පෙර විසූ උත්පත්ති පිළිවෙළ සිහිකරද්ද, ඒ සියලුදෙනා, උපාදානස්කන්ධ පස හෝ එයින් එක්තරා ස්කන්ධයක් හෝ සිහිකරත්.
“මහණෙනි, ‘අතීතකාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වීමියි’ සිහිකරන තැනැත්තේ රූපයම සිහිකරයි. ‘අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ වේදනාවම සිහිකරයි. අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ සංඥාවම සිහිකරයි. ‘අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ සංස්කාරයන්ම සිහිකරයි. ‘අතීත කාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ විඥානයම සිහිකරයි.
“මහණෙනි, රූපය කුමකැයි කියව්ද? මහණෙනි, විකාරයට හෙවත් වෙනස්වීමට පැමිණෙනුයි එහෙයින් රූපයයි කියනු ලැබේ. කුමකින් වෙනසට පැමිණෙයිද? සීතයෙන්ද වෙනසට පැමිණෙයි. උෂ්ණයෙන්ද වෙනසට පැමිණෙයි. බඩගින්නෙන්ද වෙනසට පැමිණෙයි. පිපාසයෙන්ද වෙනසට පැමිණෙයි, ඩැහැ ලේ බොන ඇටමැසි, විද ලේබොන මදුරුවා, අව් සුලං සර්පාදී දීර්ඝ ජාතික සතුන්ගේ ස්පර්ශයෙන්ද, වෙනසට පැමිණෙයි. මහණෙනි, වෙනසට පැමිණෙනුයි එහෙයින් වනාහි රූපයයි කියනු ලැබේ.
“මහණෙනි, වේදනාව කුමකැයි කියව්ද? මහණෙනි විඳිනුයි. එහෙයින් වනාහි වේදනාවයයි කියනු ලැබේ. කුමක් විඳීද? සැපද විඳියි. දුකද විඳියි. අදුක්ඛම සුඛයද, (උපෙක්ෂාව) විඳියි. මහණෙනි, විඳිනුයි එහෙයින් වනාහි වේදනාවයයි කියනු ලැබේ.
“මහණෙනි, සංඥාව කුමකැයි කියව්ද? මහණෙනි, හඳුනනුයි එහෙයින් වනාහි සංඥාවයයි කියනු ලැබේ. කුමක් හඳුනාද? නිල්වූ දේ නිල්යයිද, හඳුනයි. කසාවන් දෙය කසාවන් යයිද හඳුනයි. ලෙහෙවන් දෙය ලේවන්යයිද හඳුනයි. සුදු දෙය සුදුයයිද හඳුනයි. මහණෙනි, හඳුනයි හඳුනයිනුයි සංඥාවයයි කියනු ලැබේ.
“මහණෙනි, කුමක් වනාහි සංස්කාරයන්යයි කියව්ද? මහණෙනි, හේතු ප්රත්යයන් විසින් නිපදවන ලද දේ පිළියෙල කරත්. එහෙයින් සංස්කාරයයි කියනු ලැබෙත්. කිනම් හේතු ප්රත්යයන් විසින් නිපදවන ලද්දක් පිළියෙල කරද්ද? හේතු ප්රත්යයන් විසින් නිපදවන ලද රූපය රූපයවීම පිණිස පිළියෙළ කරත්. සංඛතවූ වේදනාව වේදනාව වීම පිණිස පිළියෙළ කරත්. සංඛතවූ සංඥාව සංඥාව වීම පිණිස පිළියෙල කරත්. සංඛතවූ සංස්කාරයන් සංස්කාරවීම පිණිස පිළියෙල කරත්. සංඛතවූ විඥානය විඥානයවීම පිණිස පිළියෙල කරත්. මහණෙනි, සංඛතය (හේතු ප්රත්යයන් විසින් නිපදවන ලද දේ) පිළියෙල කරන හෙයින් සංස්කාරයෝයයි කියනු ලැබෙත්.
“මහණෙනි, කුමක් විඥානයයි කියව්ද? මහණෙනි, විශේෂයෙන් දැනගනියි. එහෙයින් විඥානයයි කියනු ලැබේ. කුමක් දැනගනීද? ඇඹුල් රසද, විශේෂයෙන් දනී. තිත්ත රසද විශේෂයෙන් දනී කුළුරසද විශේෂයෙන් දනී. මිහිරි රසද විශේෂයෙන් දනී. කර රසද විශේෂයෙන් දනී. මිශ්ර රසද විශේෂයෙන් දනී. ලුණු රසද විශේෂයෙන් දනී දිය රසද විශේෂයෙන් දනී. මහණෙනි, මෙසේ වනාහි අරමුණ විශේෂයෙන් දැනගන්නා හෙයින් විඥානයයි කියනු ලැබේ.
“මහණෙනි! එහිදී ඇසූ පිරූ තැන් ඇති ආර්යශ්රාවක තෙමේ මෙසේ සලකයි. ‘මම වනාහි දැන් රූපය නිසා පෙළෙමි. දැන් මම වනාහි පවත්නා රූපය නිසා යම් සේ පීඩාවට පැමිණෙම්ද, එපරිද්දෙන්ම මම අතීත කාලයෙහිද, රූපය නිසා පීඩාවට පැමිණියෙමි. මම වනාහි අනාගත රූපය කෙරෙහිද, කැමති වන්නෙම් නම් දැන් වර්තමාන රූපය නිසා යම්සේ පීඩාවට පැමිණෙම්ද, එපරිද්දෙන්ම මම අනාගත රූපය නිසාද පීඩාවට පැමිණෙන්නෙමියි’ කියායි, හෙතෙමේ මෙසේ සලකා අතීත රූපය කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත රූපය (ගැන) නොකැමැති වෙයි. පවත්නා රූපයෙහි කළකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නැති කිරීම පිණිසද පිළිපන්නේ වෙයි.
“මම වනාහි දැන් වේදනාවෙන් පීඩා විඳිමි. යම්සේ දැන් පවත්නා වේදනාවෙන් පෙළෙම්ද, අතීතයෙහිද මම මෙපරිදිම වේදනාවෙන් පෙළුනෙමි. මම වනාහි අනාගත වේදනාව කැමති වන්නෙම් නම් යම් සේ දැන් පවත්නා වේදනාවෙන් පෙළෙම්ද, එපරිදි මම අනාගත කාලීන වේදනාවෙන් පීඩා විඳින්නෙමියි’ කියා හෙතෙමේ මෙසේ සලකා අතීත වේදනාව කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත වේදනාව (ගැන) නොකැමැති වෙයි. පවත්නා වේදනාව කෙරෙහි කළකිරීමටද, නොඇලීමටද, නැතිකිරීමටද පිළිපන්නේ වෙයි.