1. 2. 3. 4.
පඨම අරහන්ත සූත්රය
76. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, රූපය අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්යක් ප්රඥාවෙන් දත යුතුයි. “වේදනාව අනිත්යය, යමක් අනිත්යද එය දුකය. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්යක් ප්රඥාවෙන් දතයුතුයි. “සංඥාව අනිත්යය. යමක් අනිත්යද එය දුකය යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්යක් ප්රඥාවෙන් දතයුතුයි. “සංස්කාරයෝ අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවෙයි.’ කියා මෙසේ මෙය තත්වූ පරිදි සම්යක් ප්රඥාවෙන් දතයුතුයි. “විඤ්ඤාණය අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි ඒ මාගේ ආත්මය නොවෙයි.’ කියා මෙසේ මෙය තත්වූ පරිදි සම්යක් ප්රඥාවෙන් දතයුතුයි.’
“මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්රැතවත් ආර්ය ශ්රාවක තෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරුනේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි ඤාණය ඇති වෙයි. ජාතිය ක්ෂයවිය. බ්රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලදී. කටයුතුකොට නිමවන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දනියි.
“මහණෙනි, ලෝකයෙහි යම් පමණ සත්වයන් වාසය කරන ස්ථාන වෙත්ද, යම් පමණ භවාශ්රව වෙත්ද, යම් මේ රහත්හු වෙත්ද, ඒ රහත්හුම ලෝකයෙහි අග්ර වෙත්. ශ්රේෂ්ඨ වෙත්”යි භාග්යවතුන් වහන්සේ මෙය වදාළේය. මෙය වදාරා සුගතයන් වහන්සේ නැවතත් මෙසේද වදාළේය.
1. “රහත්හු ඒකාන්තයෙන් සැප ඇත්තෝය. ඔවුන්ට තෘෂ්ණාව නැත. (නව වැදෑරුම්) මානය සිඳින ලදී. මෝහය නමැති දැල පලා දමන ලදී.
2. “ඔව්හු තෘෂ්ණාව නැති බවට පැමිණියහ. ඔවුන්ගේ සිත පිරිසිදුය. ලෝකයෙහි නොඇලුණාවූ ආශ්රව රහිතවූ ඔව්හු ශ්රේෂ්ඨවූහ.
3. “පඤ්චස්කන්ධයන් පිරිසිඳ දැන (සද්ධා, හිරි, ඔතප්ප, බාහුසච්ච විරිය, සති, සඤ්ඤා යන මේ) සත් ධර්මය ගෝචරකොට ඇත්තාවූ ප්රශංසාවට සුදුසුවූ සත්පුරුෂවූ, බුදුරජාණන් වහන්සේගේ ඖරෂපුත්රවූ,
4. “සත්වැදෑරුම් බෞද්ධාංග රත්නයෙන් සමන්විතවූ, ත්රිවිධ ශික්ෂාවෙහි හික්මුණාවූ, ඒ මහාවීරයෝ දුරු කළ භය ඇතිව හැසිරෙත්.
5. “දස අංගයකින් සමන්විතවූ, මහා නාගවූ, සමාධියෙන් යුත් සිත් ඇති ඔව්හු ලෝකයෙහි ශ්රේෂ්ඨයෝ වෙති. ඔවුන්ට තෘෂ්ණාව නැත්තේය.
6. “අර්හත්ඵල ඥානය ලැබුවාවූ, ඔවුන්ගේ මේ අන්තිම ආත්මයයි. බ්රහ්මචරියාවගේ සාරයවූ යම් රහත් ඵලයක් වේද ඒ පිණිස සෙවිය යුතු අන්ප්රත්යයක් නැතැයි ප්රත්යක්ෂ වශයෙන් දැනගත්තාහු වෙත්.
7. “ඔව්හු ත්රිවිධ මානයන්හි කම්පා නොවෙත්. පුනරුත්පත්තියෙන් මිදුණාහ. දන්තභූමියයයි නම්ලද රහත්ඵලයට පැමිණියාවූ ඔව්හු ලෝකයෙහි දිනුවාහු නම් වෙති.
8. “අතීතවූද, වර්තමානවූද, අනාගතවූද, ස්කන්ධයන් කෙරෙහි ඔවුනට නන්දි සංඛ්යාත ඇල්මක් නැත. ඔව්හු ලෝකයෙහි බුදුවරයෝ අති උත්තමයහයි සිංහනාද කරත්.”
1. 2. 3. 5.
දුතිය අරහන්ත සූත්රය
77. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපය අනිත්යයි, යමක් අනිත්ය නම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මේ තත්වූ පරිදි සම්යක් ප්රඥාවෙන් දත යුතුයි. “වේදනාව අනිත්යයි, යමක් අනිත්ය නම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්යක් ප්රඥාවෙන් දත යුතුයි. “සංඥාව අනිත්යයි, යමක් අනිත්ය නම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්යක් ප්රඥාවෙන් දත යුතුයි. “සංස්කාරයෝ අනිත්යයි, යමක් අනිත්ය නම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්යක් ප්රඥාවෙන් දත යුතුයි. “විඥානය අනිත්යය, යමක් අනිත්ය නම් එය දුකය. යමක් දුකනම් එය අනාත්මය. යමක් අනාත්ම නම් ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්යක් ප්රඥාවෙන් දතයුතුයි.
“මහණෙනි, මෙසේ දන්නාවූ ආර්යශ්රාවකතෙමේ රූපය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. සංඥාව කෙරෙහිද කලකිරෙයි. සංස්කාරයන් කෙරෙහිද කලකිරෙයි. විඥානය කෙරෙහිද කලකිරෙයි. කලකිරුනේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන නුවණ පහළවෙයි. ඉපදීම ක්ෂයවිය. බ්රහ්මචර්යාවෙහි වැස නිමවන ලද්දේය. කටයුතුකොට නිමවන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දනී.
“මහණෙනි, සත්වාවාසයෝ යම් පමණ වෙත්ද, භවාශ්ර යම් පමණ වෙත්ද, යම් ඒ රහත්වූ වෙත්ද, ඔව්හු ලෝකයෙහි අග්රවෙති. ශ්රේෂ්ඨ වෙතියි” වදාළේය.
1. 2. 3. 6.
සීහොපම සූත්රය
78. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්යවතුන් වහන්සේ මෙය වදාළේය.
“මහණෙනි, මෘගයන්ට රජවූ සිංහතෙම සවස් කාලයෙහි ස්වකීය වාසස්ථානයෙන් නික්මෙයි. නික්මී ඇඟ කිලිපොලයි. ඇඟ කිලිපොවා හාත්පස සිව්දිග බලයි. හාත්පස සිවුදිග බලා තුන්වරක් සිංහනාද කරයි. තුන්වරක් සිංහනාද කොට ගොදුරු පිණිස නික්මෙයි.
“මහණෙනි, නාදකරන්නාවූ මෘගයන්ට රජවූ සිංහයාගේ නාදය යම්කිසි තිරිසන්ගත ප්රාණීහු අසත්ද, ඔව්හු බෙහෙවින් බියටද, තැති ගැණීමටද, සංවේගයටද පැමිණෙත්. බිලවල වාසය කරන සත්වයෝ බිලවලට පිවිසෙත්. ජලයෙහි වසන සත්වයෝ එහිවූ වාසස්ථානලට පිවිසෙත්. වනයෙහි වසන සත්වයෝ එහි වාසස්ථානවලට පිවිසෙත්. පක්ෂීහු අහසට නැගෙත්. “මහණෙනි, ගම් නියම්ගම් රාජධානිවල දැඩිවූ වරපට වලින් බඳනාලද රජහුගේ යම් ඒ හස්ථිහු වෙත්ද, ඔව්හුද ඒ බන්ධනයන් සිඳගෙන බිඳගෙන මලමුත්ර හෙලමින් ඒ මේ අත පලායත්. “මහණෙනි, තිරිසන්ගත සතුන් අතුරෙහි මෘගයන්ට රජවූ සිංහතෙමේ මෙසේ මහත් ඍද්ධි ඇත්තේද, මෙසේ මහේශාක්යවූයේද, මෙසේ මහත් ආනුභාව ඇත්තෙක්ද වෙයි.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි අර්හත්වූ අෂ්ට විද්යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දත්තාවූ, අති උතුම්වූ පුරිසදම්ම සාරථිවූ දෙවි මිනිසුන්ට ශාස්තෲවූ චතුස්සත්යයාවබෝධකළාවූ භාග්යවත්වූ තථාගතයන් වහන්සේ යම් කලෙක්හි ලොව උපදීද, ඒ භාග්යවත්තෙමේ ‘මේ රූපය වෙයි. මේ රූපයාගේ හේතුව වෙයි. මේ රූප නිරෝධයයි. ‘මේ වේදනාව වෙයි, මේ වේදනාවේ හේතුව වෙයි, මේ වේදනාවේ නිරෝධයයි. ‘මේ සංඥාව වෙයි, මේ සංඥාවේ හේතුව වෙයි, මේ සංඥාවේ නිරෝධයයි. ‘මේ සංස්කාරයෝය. මේ සංස්කාරයන්ගේ හේතුවය, මේ සංස්කාරයන්ගේ නිරෝධයයි. ‘මේ විඥානයය, මේ විඥානයාගේ හේතුවය, මේ විඥාන නිරෝධයයි’ දහම් දෙසයි.