1. 2. 2. 2.
මඤ්ඤමාන සුත්තං
64. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට කොටින් ධර්මය දේශනා කරන සේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා, සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි” කියායි.
“මහණ, තෘෂ්ණා මාන දෘෂ්ටි විසින් හඟිනු ලබන්නේ මරහුගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. නොහඟිනු ලබන්නේ මාර පුඩුවෙන් මිදුනේ වෙයි.”
“භාග්‍යවතුන් වහන්ස, මා විසින් දන්නා ලදී. සුගතයන් වහන්ස, මා විසින් දන්නා ලදී.”
“මහණ, නුඹ මා විසින් කොටින් දෙසනලද ධර්මයේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දැන ගත්තෙහිද?”
“ස්වාමීනි, රූපය වනාහි තණ්හා මාන දෘෂ්ටි වශයෙන් හඟිනු ලබන්නේ මරහුගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. නොහඟිනු ලබන්නේ මාර පුඩුවෙන් මිදුනේ වෙයි. වේදනාව වනාහි තණ්හා මාන දෘෂ්ටි වශයෙන් හඟිනු ලබන්නේ මරහුගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. නොහඟිනු ලබන්නේ මාර පුඩුවෙන් මිදුනේ වෙයි. සංඥාව වනාහි තණ්හා මාන දෘෂ්ටි වශයෙන් හඟිනු ලබන්නේ මරහුගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. නොහඟිනු ලබන්නේ මාර පුඩුවෙන් මිදුනේ වෙයි. සංස්කාරයන් වනාහි තණ්හා මාන දෘෂ්ටි වශයෙන් හඟිනු ලබන්නේ මරහුගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. නොහඟිනු ලබන්නේ මාර පුඩුවෙන් මිදුනේ වෙයි. විඥානය තණ්හා මාන දෘෂ්ටි වශයෙන් හඟිනු ලබන්නේ මාර පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. නොහඟිනු ලබන්නේ මාර පුඩුවෙන් මිදුනේ වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කොටින් දේශනා කරන ලද ධර්මයේ අර්ථය මම වනාහි මෙසේ විස්තර වශයෙන් දකිමි”යි කීයේය.
“මහණ, ඉතා මැනවි. ඉතා මැනවි. මහණ, නුඹ වනාහි මා විසින් කොටින් දේශනාකළ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් මනාකොට දැන ගත්තෙහිය. මහණ, රූපය වනාහි තණ්හා දෘෂ්ටි මාන වශයෙන් හඟිනු ලබන්නේ මාරයාගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. නොහඟිනු ලබන්නේ මාර පුඩුවෙන් මිදුනේ වෙයි. වේදනාව වනාහි තණ්හා මාන දෘෂ්ටි වශයෙන් හඟිනු ලබන්නේ මරහුගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. නොහඟිනු ලබන්නේ මාර පුටුවෙන් මිදුනේ වෙයි. සංඥාව වනාහි තණ්හා මාන දෘෂ්ටි වශයෙන් හඟිනු ලබන්නේ මරහුගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. නොහඟිනු ලබන්නේ මාර පුඩුවෙන් මිදුනේ වෙයි. සංස්කාර වනාහි තණ්හා මාන දෘෂ්ටි වශයෙන් හඟිනු ලබන්නේ මරහුගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. නොහඟිනු ලබන්නේ මාර පුඩුවෙන් මිදුනේ වෙයි. විඥානය වනාහි තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් හඟිනු ලබන්නේ මාරයාගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. නොහඟිනු ලබන්නේ මාරයාගේ පුඩුවෙන් මිදුනේ වෙයි. මහණ, මා විසින් කොටින් දේශනා කරන ලද මේ දේශනාවේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දත යුතුයි.” වදාළේය.
එකල්හි ඒ භික්ෂුතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුවී, අනුමෝදන්වී, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේට වැඳ, ගෞරවයෙන් ගියේය. අනතුරුව ඒ භික්ෂුතෙමේ හුදකලාව, සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව, වාසය කරන්නේ නොබෝ කලකින්ම කුලපුත්‍රයෝ යමක් සඳහා මනාකොට ගිහිගෙයින් නික්ම, සස්නෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසාන කොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයේදීම තෙමේ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කොට, ඊට පැමිණ, වාසය කෙළේය. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. මේ ආත්මභාවයෙහි කළයුතු අනිකක් නැත්තේ යයි දැන ගත්තේය. ඒ භික්ෂුතෙමේ වනාහි රහතුන් අතුරෙන් එක්තරා රහත් කෙනෙක් වූයේය.
1. 2. 2. 3.
අභිනන්දන සූත්‍රය
65. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක්හි හුන්නේය. එක්පසෙක්හි හුන්නාවූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“භාග්‍යවතුන් වහන්සේ මට කොටින් ධර්මදේශනා කරණසේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව, වාසය කරන්නෙමි” කියායි.
“මහණ, තණ්හා, දිට්ඨි, මානයන් කරණකොට අභිනන්දනයෙන් සතුටු වන්නේ මරහුගේ පුඩුවෙන් බැඳෙන ලද්දේ වෙයි. එයින් සතුටු නොවන්නේ මාර බන්ධනයෙන් මිදුනේ වෙයි.”
“භාග්‍යවතුන් වහන්ස, මා විසින් දැනගන්නාලදී. සුගතයන් වහන්ස, මා විසින් දැනගන්නාලදැයි” කීයේය.
“මහණ, නුඹ වනාහි මා විසින් කොටින් දේශනා කරන ලද ධර්මයේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දැනගත්තෙහිද?”
“ස්වාමීනි, රූපය තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන සතුටුවන්නේ මාරබන්ධනයෙන් බැඳුනේ වෙයි. සතුටු නොවන්නේ මරහුගේ පුඩුවෙන් මිදුනේ නම් වෙයි. වේදනාව තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන සතුටු වන්නේ මාරබන්ධනයෙන් බැඳුනේ වෙයි. සතුටු නොවන්නේ මරහුගේ පුඩුවෙන් මිදුනේ නම් වෙයි. සංඥාව තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන සතුටු වන්නේ මාර බන්ධනයෙන් බැඳුනේ වෙයි. සතුටු නොවන්නේ මරහුගේ පුඩුවෙන් මිදුනේ නම් වෙයි. සංස්කාරයන් තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන සතුටු වන්නේ මාරබන්ධනයෙන් බැඳුනේ වෙයි. සතුටු නොවන්නේ මරහුගේ පුඩුවෙන් මිදුනේ නම් වෙයි. විඤ්ඤාණය තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන සතුටු වන්නේ මරහුගේ බන්ධනයෙන් බැඳුනේ නම් වෙයි. සතුටු නොවන්නේ මාරබන්ධනයෙන් මිදුනේ නම් වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කොටින් දෙසන ලද දේශනාවේ අර්ථය විස්තර වශයෙන් මෙසේ දනිමියි” කීයේය.
“මහණ, ඉතා මැනවි. ඉතා මැනවි. මහණ, නුඹ වනාහි මවිසින් කොටින් දෙසනලද ධර්මයේ අර්ථය විස්තර වශයෙන් දැනගත්සේ ඉතා මැනවි.
“මහණ, රූපය තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන සතුටුවන්නේ මාරයාගේ පුඩුවෙන් බැඳුනේ නම් වෙයි. සතුටු නොවන්නේ මාරයාගේ පුඩුවෙන් මිදුනේ නම් වෙයි. වේදනාව තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන, සතුටු වන්නේ මාරයාගේ පුඩුවෙන් බැඳුනේ නම් වෙයි. සතුටු නොවන්නේ මාරයාගේ පුඩුවෙන් මිදුනේ නම් වෙයි. සංඥාව තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන, සතුටු වන්නේ මාරයාගේ පුඩුවෙන් බැඳුනේ නම් වෙයි. සතුටු නොවන්නේ මාරයාගේ පුඩුවෙන් මිදුනේ නම් වෙයි. සංස්කාරයන් තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන සතුටු වන්නේ මාරයාගේ පුඩුවෙන් බැඳුනේ නම් වෙයි. සතුටු නොවන්නේ මාරයාගේ පුඩුවෙන් මිදුනේ නම් වෙයි. විඤ්ඤාණය තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ගෙන සතුටු වන්නේ මාරයාගේ පුඩුවෙන් බැඳුනේ නම් වෙයි. සතුටු නොවන්නේ මාරයාගේ පුඩුවෙන් මිදුනේ නම් වෙයි. මහණ, මා විසින් කොටින් දේශනා කරණලද මේ ධර්මයේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දතයුතුයයි වදාළේය.
එකල්හි ඒ භික්ෂුතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය අසා සතුටුවූයේය. සතුටුව, අනුමෝදන්ව, හුනස්නෙන් නැඟිට, භාග්‍යවතුන් වහන්සේට වැඳ, ගෞරවයෙන් ගියේය. ඉක්බිති ඒ භික්ෂුතෙමේ හුදකළාවූයේ සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නේ, නොබෝ කලකින්ම කුලපුත්‍රයෝ යම් අර්ථයක් සඳහා මනාකොට ගිහි ගෙයින් නික්ම සස්නෙහි පැවිදිවෙත්ද, මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයේදීම තෙමේ විශිෂ්ට ඥානයෙන් අවබෝධකොට, ඊට පැමිණ, වාසය කෙළේය. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ ආත්මභාවයෙහි කළයුතු අනිකක් නැත්තේයයි දැනගත්තේය. ඒ භික්ෂුතෙමේ වනාහි රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක්ද වූයේය.
1. 2. 2. 4.
අනිච්ච සුත්තං
66. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක්හි හුන්නේය. එක්පසෙක්හි හුන්නාවූ ඒ භික්ෂුතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට කොටින් ධර්මදේශනා කරණසේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා, හුදකළාව සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි”යි කියායි.