1. 5. 8.
සෝණ සූත්රය
50. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, ‘කලන්දක නිවාප’ නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. ඉක්බිති ‘සෝණ’ නම් ගෘහපති පුත්රතෙම භාග්යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ‘සෝණ’ නම් ගෘහපති පුත්රයාහට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“සෝණය, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ රූපය නොදනිත්ද, රූපයේ ඇතිවීම නොදනිත්ද, රූපයේ නැතිවීම නොදනිත්ද, රූපය නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය නොදනිත්ද, වේදනාව නොදනිත්ද, වේදනාවේ ඇතිවීම නොදනිත්ද, වේදනාවේ නැතිවීම නොදනිත්ද, වේදනාව නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය නොදනිත්ද, සංඥාව නොදනිත්ද, සංඥාවේ ඇතිවීම නොදනිත්ද, සංඥාවේ නැතිවීම නොදනිත්ද, සංඥාව නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය නොදනිත්ද, සංස්කාර නොදනිත්ද, සංස්කාරයන්හි ඇතිවීම නොදනිත්ද, සංස්කාරයන්හි නැතිවීම නොදනිත්ද, සංස්කාරයන් නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය නොදනිත්ද, විඤ්ඤාණය නොදනිත්ද, විඤ්ඤාණය ඇතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය නොදනිත්ද, සෝණය, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් අතුරෙහි ශ්රමණ සම්මත හෝ බ්රාහ්මණයන් අතුරෙහි බ්රාහ්මණ සම්මත හෝ නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්රමණ භාවයේ ඵලය හෝ බ්රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මයෙහි තෙමේ දැන, අවබෝධ කොට ඊට පැමිණ, වාසය නොකෙරෙත්.
“සෝණය, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ රූපය දනිත්ද, රූපයේ ඇතිවීම දනිත්ද, රූපයේ නැතිවීම දනිත්ද, රූපය නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය දනිත්ද, වේදනාව දනිත්ද, වේදනාවේ ඇතිවීම දනිත්ද, වේදනාවේ නැතිවීම දනිත්ද, වේදනාව නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය දනිත්ද, සංඥාව දනිත්ද, සංඥාවේ ඇතිවීම දනිත්ද, සංඥාවේ නැතිවීම දනිත්ද, සංඥාව නැතිකිරීමට ගමන්කළ යුතු මාර්ගය දනිත්ද, සංස්කාර දනිත්ද, සංස්කාරයන් ඇතිවීම දනිත්ද, සංස්කාරයන් නැතිවීම දනිත්ද, සංස්කාරයන් නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය දනිත්ද, විඤ්ඤාණය දනිත්ද, විඤ්ඤාණයේ ඇතිවීම දනිත්ද, විඤ්ඤාණයේ නැතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය දනිත්ද, සෝණය, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් අතුරෙහි ශ්රමණ සම්මතද, බ්රාහ්මණයන් අතුරෙහි බ්රාහ්මණ සම්මතද වෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්රමණ භාවයේ ඵලයද, බ්රාහ්මණ භාවයේ ඵලයද මේ ආත්මයෙහි තෙමේ දැන, අවබෝධකොට, ඊට පැමිණ, වාසයකෙරෙත්.”
1. 5. 9.
නන්දික්ඛය සූත්රය
51. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන්හට කථාකළ සේක. ‘ස්වාමීනි’යි, කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මහණතෙම අනිත්යමවූ, රූපය අනිත්ය යයි දකියිද, ඔහුගේ ඒ දැකීම මනාකොට දැකීම වෙයි. (සම්යක් දෘෂ්ටිය වෙයි.) මනාකොට දකින්නේ කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව නැතිකිරීමෙන් සිත (කෙලෙසුන්ගෙන්) මිදුණේය. මනාකොට මිදුණේයයි කියනු ලැබේ.
“මහණෙනි, මහණතෙම අනිත්යමවූ, වේදනාව අනිත්ය යයි දකියිද, ඔහුගේ ඒ දැකීම මනාකොට දැකීම වෙයි. (සම්යක් දෘෂ්ටිය වෙයි) මනාකොට දකින්නේ, කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව නැතිකිරීමෙන් සිත (කෙලෙසුන්ගෙන්) මිදුණේය. මනාකොට මිදුණේයයි කියනු ලැබේ. “මහණෙනි, මහණතෙම අනිත්යමවූ සංඥාව අනිත්යයයි දකියිද, ඔහුගේ ඒ දැකීම මනාකොට දැකීමවෙයි. (සම්යක් දෘෂ්ටිය වෙයි) මනාකොට දකින්නේ, කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව නැතිකිරීමෙන් සිත (කෙලෙසුන්ගෙන්) මිදුණේය. මනාකොට මිදුණේයයි කියනු ලැබේ. “මහණෙනි, මහණතෙම අනිත්යමවූ, සංස්කාර අනිත්ය යයි දකියිද, ඔහුගේ ඒ දැකීම මනාකොට දැකීම වෙයි. (සම්යක් දෘෂ්ටිය වෙයි) මනාකොට දකින්නේ, කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව නැතිකිරීමෙන් සිත (කෙලෙසුන් ගෙන්) මිදුණේය. මනාකොට මිදුණේයයි කියනු ලැබේ. “මහණෙනි, මහණතෙම අනිත්යමවූ, විඤ්ඤාණය අනිත්යයයි දකියිද, ඔහුගේ ඒ දැකීම මනාකොට දැකීම වෙයි. (සම්යක්දෘෂ්ටිය වෙයි) මනාකොට දකින්නේ, කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව නැතිකිරීමෙන් සිත (කෙලෙසුන්ගෙන්) මිදුණේය. මනාකොට මිදුණේයයි කියනු ලැබේ.”
1. 1. 5. 10.
නන්දික්ඛය සූත්රය
52. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපය නුවණින් මෙනෙහි කරව්. රූපයේ අනිත්ය ස්වභාවයද ඇතිතතු විමසා බලව්. මහණෙනි, රූපය නුවණින් මෙනෙහිකරන්නේ, රූපයේ අනිත්ය ස්වභාවය ඇතිතතු මෙනෙහි කරන්නේ, රූපයෙහි කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව නැතිකිරීමෙන් සිත (කෙලෙසුන්ගෙන්) මිදුනේය, මනාකොට මිදුණේයයි කියනු ලැබේ.
“මහණෙනි, වේදනාව නුවණින් මෙනෙහි කරව්. වේදනාවේ අනිත්ය ස්වභාවයද ඇති තතු විමසා බලව්. මහණෙනි, වේදනාව නුවණින් මෙනෙහි කරන්නේ, වේදනාවෙහි අනිත්ය ස්වභාවය ඇතිතතු මෙනෙහි කරන්නේ, වේදනාවෙහි කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව නැතිකිරීමෙන් සිත (කෙලෙසුන්ගෙන්) මිදුණේය. මනාකොට මිදුණේයයි කියනු ලැබේ. “මහණෙනි, සංඥාව නුවණින් මෙනෙහිකරව්. සංඥාවේ අනිත්ය ස්වභාවයද ඇතිතතු විමසා බලව්. මහණෙනි, සංඥාව නුවණින් මෙනෙහි කරන්නේ, සංඥාවේ අනිත්ය ස්වභාවය ඇතිතතු මෙනෙහි කරන්නේ, සංඥාවෙහි කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව නැතිකිරීමෙන් සිත (කෙලෙසුන්ගෙන්) මිදුණේය. මනාකොට මිදුණේයයි කියනු ලැබේ. “මහණෙනි, සංස්කාර නුවණින් මෙනෙහිකරව්. සංස්කාරයේ අනිත්ය ස්වභාවයද ඇතිතතු විමසා බලව්. මහණෙනි, සංස්කාර නුවණින් මෙනෙහි කරන්නේ, සංස්කාරයේ අනිත්ය ස්වභාවය ඇතිතතු මෙනෙහි කරන්නේ, සංස්කාරයෙහි කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව නැතිකිරීමෙන් සිත (කෙලෙසුන්ගෙන්) මිදුණේය. මනාකොට මිදුණේයයි කියනු ලැබේ. “මහණෙනි, විඤ්ඤාණය නුවණින් මෙනෙහි කරව්. විඤ්ඤාණයේ අනිත්ය ස්වභාවයද ඇතිතතු විමසා බලව්. මහණෙනි, විඤ්ඤාණය නුවණින් මෙනෙහි කරන්නේ, විඤ්ඤාණයේ අනිත්ය ස්වභාවය ඇතිතතු මෙනෙහි කරන්නේ, විඤ්ඤාණයෙහි කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව නැතිකිරීමෙන් සිත (කෙලෙසුන්ගෙන්) මිදුණේය. මනාකොට මිදුණේයයි කියනු ලැබේ.”
පස්වෙනි අත්තදීප වර්ගයයි.
එහි උද්දානය:
අත්තදීප සූත්රය, පටිපදාසූත්ර දෙකය, අනිච්චතා සූත්රය, සමනුපස්සනා සූත්රය, ඛන්ධසූත්රය, සෝණ සූත්ර දෙක සහ නන්දික්ඛය සූත්ර දෙකදැයි මේ අත්තදීප වර්ගයෙහි සූත්ර දහයකි.
මූලපණ්ණාසකය නිමි.
එහි මූලපණ්ණාසකයේ වර්ග උද්දානය:
නකුල පිතු වර්ගය, අනිච්ච වර්ගය, භාර වර්ගය, නතුම්හාක වර්ගය සහ අත්තදීප වර්ගයයි මේ මුල් සූත්ර පණසෙහි වර්ග පසෙකි.