1. 5. 4.
4. අනිච්චතා සූත්රය
46. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, රූපය අනිත්යය. යමක් අනිත්යද, එය දුකකි. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේ’ යන මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. “වේදනාව අනිත්යය. යමක් අනිත්යද එය දුකකි. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේ’ යන මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. “සංඥාව අනිත්යය. යමක් අනිත්යද එය දුකකි. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේ’ යන මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. “සංස්කාර අනිත්යය. යමක් අනිත්යද, එය දුකකි. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේ’ යන මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. “විඤ්ඤාණය අනිත්යය. යමක් අනිත්යද එය දුකකි. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේ’ යන මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. “මෙය මෙසේයයි තත්වූ පරිදි මනා නුවණින් බලන්නහුට අතීත භව පිළිබඳ දෘෂ්ටීහු නොවෙත්. අතීත බව පිළිබඳ දෘෂ්ටි නැතිවූ කල්හි අනාගත භව පිළිබඳ දෘෂ්ටීහු නොවෙත්. අනාගත භව පිළිබඳ දෘෂ්ටි නැතිවූ කල්හි දැඩිසේ දෘෂ්ටියෙන් අල්වා ගැණීමක් නොවෙයි. දැඩිසේ දෘෂ්ටියෙන් අල්වා ගැනීමක් නැතිවූකල්හි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන මොවුන් කෙරෙහි සිත නො ඇලෙයි. දැඩි කොට අල්වා නොගෙන ආශ්රවයන්ගෙන් මිදෙයි. මිදුනු හෙයින් (මතු කළයුතු කිසක් නැති හෙයින්) සිටියි. සිටි හෙයින් සතුටු වෙයි. සතුටු වූ හෙයින් හෙතෙමේ තැති නොගනියි. තැති නොගත්තේ නම් ආත්මයෙහිම පිරිනිවන් පායි. ජාතිය ක්ෂයවිය. බ්රහ්මචර්ය්යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.”
1. 5. 5.
5. සමනුපස්සනා සූත්රය
47. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම් ඒ ශ්රමණ කෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ නොයෙක් ආත්මයන් දක්නාහු දකිත්ද, ඒ සියල්ලෝ උපාදානස්කන්ධ පසම හෝ එයින් එකක් හෝ දකිත්.
ඒ කවර පසක්ද?
මහණෙනි, මේ ශාසනයෙහි බොහෝ ඇසූ පිරූ තැන් නැති, ආර්ය්යයන් නොදක්නාවූ, ආර්ය්ය ධර්මයෙහි දක්ෂ නොවූ, ආර්ය්ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නොවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ, පෘථග්ජනතෙම රූපය ආත්මය වශයෙන් දකියි. ආත්මය රූපවත්යයි හෝ දකියි. රූපය ආත්මය කෙරෙහි හෝ ඇතැයි දකියි. ආත්මය රූපය කෙරෙහි හෝ ඇතැයි දකියි. “වේදනාව ආත්ම වශයෙන් දකියි. ආත්මය වේදනාවත් යයි හෝ දකියි. වේදනාව ආත්මය කෙරෙහි හෝ ඇතැයි දකියි. ආත්මය වේදනාව කෙරෙහි හෝ ඇතැයි දකියි. “සංඥාව ආත්ම වශයෙන් දකියි. ආත්මය සංඥාවත්යයි හෝ දකියි. සංඥාව ආත්මය කෙරෙහි හෝ ඇතැයි දකියි. ආත්මය සංඥාව කෙරෙහි හෝ ඇතැයි දකියි. “සංස්කාර ආත්ම වශයෙන් දකියි. ආත්මය සංස්කාරවත්යයි හෝ දකියි. සංස්කාර ආත්මය කෙරෙහි හෝ ඇතැයි දකියි. ආත්මය සංස්කාර කෙරෙහි හෝ ඇතැයි දකියි. “විඤ්ඤාණය ආත්ම වශයෙන් හෝ දකියි. ආත්මය විඤ්ඤාණවත්යයි හෝ දකියි. විඤ්ඤාණය ආත්මය කෙරෙහි හෝ ඇතැයි දකියි. ආත්මය විඤ්ඤාණය කෙරෙහි හෝ ඇතැයි දකියි.
මෙසේ මේ දෘෂ්ටි වශයෙන් ඔහුට ‘මම වෙමි’ යන තණ්හා, මාන, දෘෂ්ටීන්ගෙන් ගැනීම ඇතිවෙයි. මහණෙනි, ‘මම වෙමි’ යන ගැනීම ඇතිවූ කල්හි චක්ඛු ඉන්ද්රිය, සොත ඉන්ද්රිය, ඝාන ඉන්ද්රිය, ජිව්හා ඉන්ද්රිය, කාය ඉන්ද්රිය යන පඤ්චෙන්ද්රියයන්ගේ පහළවීම වෙයි. මහණෙනි, සිත ඇත. අරමුණ ඇත. අවිද්යා ධාතුව ඇත. මහණෙනි, අවිද්යාවෙන් යුක්ත ස්පර්ශයෙන් උපන් විඳීම ලැබූ ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයාහට ‘මම වෙමි’යි (තණ්හා මාන දෘෂ්ටි වශයෙන්) ඇති හැඟීම වෙයි. “මේ ‘මම වෙමි’යි (ආත්ම දෘෂ්ටි වශයෙන්) හැඟීම ඇති වෙයි. (මතු) වන්නේයයි (ශාස්වත දෘෂ්ටි වශයෙන්) හැඟීම ඇතිවෙයි. මතු නොවන්නේ යයි (උච්ඡෙද දෘෂ්ටි වශයෙන්) හැඟීම් ඇති වෙයි. රූපවන්තයෙක් වන්නේයයි හැඟීම ඇති වෙයි. රූපය නැත්තෙක් වන්නේයයි හැඟීම ඇතිවෙයි සංඥාව ඇත්තෙක් වන්නේයයි හැඟීම ඇතිවෙයි. සංඥාව නැත්තෙක් වන්නේයයි හැඟීම ඇති වෙයි. සංඥාව ඇත්තෙක් නැත්තෙක් වන්නේයයි හැඟීම ඇති වෙයි.
මහණෙනි, පඤ්චෙන්ද්රියයෝ එහිම සිටිත්. ඉක්බිති මෙහිදී බොහෝ ඇසූ පිරූ තැන් ඇති (ශ්රැතවත්) ආර්ය්යශ්රාවකයාගේ අවිද්යාව ප්රහීණ වේ. (නැතිවේ). විද්යාව ඇතිවේ. අවිද්යාව නැතිවීමෙන්, විද්යාව ඇතිවීමෙන් ඒ ආර්ය්යශ්රාවකයාහට ‘මම වෙමි’යි (තණ්හා, මාන වශයෙන්) හැඟීම ඇති නොවෙයි. මේ මම වෙමියි (ආත්ම දෘෂ්ටි වශයෙන්) හැඟීම ඇති නොවෙයි. (මතු) වන්නේයයි (ශාස්වත දෘෂ්ටි වශයෙන්) හැඟීම ඇති නොවෙයි. (මතු) නොවන්නේයයි (උච්ඡේද දෘෂ්ටි වශයෙන්) හැඟීම ඇතිනොවෙයි. රූපවන්තයෙක් වන්නේයයි හැඟීම ඇතිනොවෙයි. රූපය නැත්තෙක් වන්නේයයි හැඟීම ඇති නොවෙයි. සංඥාව ඇත්තෙක් වන්නේයයි හැඟීම ඇති නොවෙයි. සංඥාව නැත්තෙක් වන්නේයයි හැඟීම ඇති නොවෙයි. සංඥාව ඇත්තෙක් නැත්තෙක් වන්නේයයි හැඟීම ඇති නොවෙයි කියයි.”
1. 1. 5. 6.
ස්කන්ධ සූත්රය
48. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, පඤ්චස්කන්ධයන් හා පඤ්ච උපාදාන ස්කන්ධයන්ද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, පඤ්චස්කන්ධයෝ කවරහුද?
“මහණෙනි, අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි රූපයක් වෙයිද, මේ රූපස්කන්ධයයි කියනු ලැබේ.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි වේදනාවක් වෙයිද, මේ වේදනාස්කන්ධයයි කියනු ලැබේ. “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි සංඥාවක් වෙයිද, මෙය සංඥාස්කන්ධයයි කියනු ලැබේ. “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි සංස්කාරයක් වෙයිද, මෙය සංස්කාරස්කන්ධයයි කියනු ලැබේ. “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි විඤ්ඤාණයක් වෙයිද, මෙය විඤ්ඤාණස්කන්ධයයි කියනු ලැබේ. මහණෙනි, මොව්හු පඤ්චස්කන්ධයයි කියනු ලැබේ.
“මහණෙනි, පඤ්චඋපාදානස්කන්ධයෝ කවරහුද? “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ ආශ්රව සහිතවූ උපාදානයන්ට අරමුණුවූ යම්කිසි රූපයක් වෙයිද, මහණෙනි, මේ රූප උපාදානස්කන්ධයයි කියනු ලැබේ.