1. 1. 5. 2.
පටිපදා සූත්රය
44. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මමයයි ගන්නා පඤ්චස්කන්ධයේ හට ගැනීම පිණිස පවත්නාවූ ප්රතිපදාවද මමයයි ගන්නා පඤ්චස්කන්ධයේ නැතිවීම පිණිස පවත්නාවූ ප්රතිපදාවද දේශනා කරමි. එය අසව්.
මහණෙනි, පඤ්චස්කන්ධයේ හටගැනීම පිණිස පවත්නාවූ ප්රතිපදාව කවරේද?
“මහණෙනි, මේ ශාසනයෙහි බොහෝ ඇසූ පිරූ තැන් නැති ආර්ය්යයන් නොදක්නාවූ, ආර්ය්ය ධර්මයෙහි දක්ෂ නොවූ, ආර්ය්ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂනොවූ, සත්පුරුෂ ධර්මයෙහි නො හික්මුනාවූ, පෘථග්ජනතෙමේ රූපය තමා වශයෙන් දකියි. තමා රූපවත්යයි හෝ දකියි. රූපය තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා රූපය කෙරෙහි හෝ ඇතැයි දකියි. “වේදනාව තමා වශයෙන් දකියි තමා වේදනාවත්යයි හෝ දකියි. වේදනාව තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා වේදනාව කෙරෙහි හෝ ඇතැයි දකියි.
“සඤ්ඤාව තමා වශයෙන් දකියි. තමා සඤ්ඤාවත්යයි හෝ දකියි, සඤ්ඤාව තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා සඤ්ඤාව කෙරෙහි හෝ ඇතැයි දකියි. “සංස්කාර තමා වශයෙන් දකියි. තමා සංස්කාරවත්යයි හෝ දකියි. සංස්කාර තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා සංස්කාරයන් කෙරෙහි හෝ ඇතැයි දකියි. “විඤ්ඤාණය තමා වශයෙන් දකියි. තමා විඤ්ඤාණවත්යයි හෝ දකියි. විඤ්ඤාණය තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා විඤ්ඤාණය කෙරෙහි හෝ ඇතැයි දකියි. “මහණෙනි, මේ පඤ්චස්කන්ධය හටගැනීම පිණිස පවත්නාවූ, ප්රතිපදාවයි. මීට පඤ්චස්කන්ධය හටගැනීම පිණිස පවත්නාවූ ප්රතිපදාවයි කියනු ලැබේ. දුක් හටගැනීම පිණිස පවත්නා වැරදි දැකීම යනුද මේ අර්ථය සඳහාම කියනු ලැබේ.
“මහණෙනි, පඤ්චස්කන්ධය නිරුද්ධ කිරීම පිණිස පවත්නාවූ ප්රතිපදාව නම් කවරේද?
“මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යයන් දක්නාවූ ආර්ය්ය ධර්මයෙහි දක්ෂවූ, ආර්ය්ය ධර්මයෙහි හික්මුණාවූ, සත්පුරුෂයන් දක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුණාවූ, බහුශ්රැත ආර්ය්ය ශ්රාවකතෙමේ රූපය තමා වශයෙන් නොදකියි. රූපය සහිතවූවක් හෝ තමා වශයෙන් නොදකියි. තමා කෙරෙහි රූපය ඇතැයි හෝ නොදකියි. රූපය කෙරෙහි හෝ තමා ඇතැයි නොදකියි. “වේදනාව තමා වශයෙන් නොදකියි. තමා වේදනාව සහිතයයි හෝ නොදකියි. තමා කෙරෙහි හෝ වේදනාව ඇතැයි නොදකියි. වේදනාව කෙරෙහි හෝ තමා ඇතැයි නොදකියි. “සංඥාව තමා වශයෙන් නොදකියි. තමා සංඥාව සහිත යයි හෝ නොදකියි. තමා කෙරෙහි හෝ සංඥාව ඇතැයි නො දකියි. සංඥාව කෙරෙහි හෝ තමා ඇතැයි නොදකියි. “සංස්කාර තමා වශයෙන් නොදකියි. තමා සංස්කාර සහිතයයි හෝ නොදකියි. තමා කෙරෙහි හෝ සංස්කාර ඇතැයි නොදකියි. සංස්කාර කෙරෙහි හෝ තමා ඇතැයි නොදකියි. “විඤ්ඤාණය තමා වශයෙන් නොදකියි. තමා විඤ්ඤාණ සහිතයයි හෝ නොදකියි. තමා කෙරෙහි හෝ විඤ්ඤාණය ඇතැයි නොදකියි. විඤ්ඤාණය කෙරෙහි හෝ තමා ඇතැයි නොදකියි. “මහණෙනි, මේ වනාහි පඤ්චස්කන්ධය නිරුද්ධ කිරීම පිණිස පවත්නා ප්රතිපදාවයි. පඤ්චස්කන්ධය නිරුද්ධ කිරීම පිණිස පවත්නා ප්රතිපදාව යයි මීට කියනු ලැබේ. දුක් නිරුද්ධ කිරීම සඳහා පවත්නා ප්රතිපදාව යනුද මේ අර්ථය සඳහාම කියනු ලැබේ.”
1. 1. 5. 3.
3. පටිපදා සූත්රය
45. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, රූපය අනිත්යයි. යමක් අනිත්යද එය දුකකි. යමක් දුකද එය අනාත්මය, යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේ’ යන මෙය මෙසේ තත්වාකාරයෙන්, යහපත් නුවණින් දත යුතුයි. එය මෙසේ තත්වාකාරයෙන් බලන්නහුගේ සිත නොඇලෙයි. දැඩිසේ අල්ලා නොගෙන ආශ්රවයන්ගෙන් මිදෙයි. “මහණෙනි, වේදනාව අනිත්යයි. යමක් අනිත්යද එය දුකකි. යමක් දුකද එය අනාත්මයි. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේ.’ යන මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දත යුතුයි. එය මෙසේ තත්වාකාරයෙන් බලන්නහුගේ සිත නොඇලෙයි. දැඩිකොට අල්වා නොගෙන ආශ්රවයන්ගෙන් මිදෙයි. “මහණෙනි, සංඥාව අනිත්යයි. යමක් අනිත්යද එය දුකකි. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේ’ යන මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දත යුතුයි. එය මෙසේ තත්වාකාරයෙන් බලන්නහුගේ සිත නොඇලෙයි. දැඩිසේ අල්වා නොගෙන ආශ්රවයන් ගෙන් මිදෙයි. “මහණෙනි, සංස්කාර අනිත්යයි. යමක් අනිත්යද එය දුකකි. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේ’ යන මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. එය මෙසේ තත්වාකාරයෙන් බලන්නහුගේ සිත නොඇලෙයි. දැඩිකොට අල්ලා නොගෙන ආශ්රවයන් කෙරෙන් මිදෙයි. “මහණෙනි, විඤ්ඤාණය අනිත්යයි. යමක් අනිත්යද, එය දුකකි. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේ’ යන මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දත යුතුයි. එය මෙසේ තත්වාකාරයෙන් බලන්නහුගේ සිත නොඇලෙයි. දැඩිකොට අල්වා නොගෙන ආශ්රවයන් කෙරෙන් මිදෙයි.
“මහණෙනි, ඉදින් භික්ෂුවක් හිත රූපධාතුවෙහි දැඩිකොට අල්වා නොගෙන ආශ්රවයන් කෙරෙන් නොඇලුණේ වෙයිද, මිදුනේ වෙයිද, මහණෙනි, ඉදින් වේදනා ධාතුයෙහි භික්ෂුවගේ හිත දැඩිකොට අල්වා නොගෙන ආශ්රවයන්ගෙන් නොඇලුණේ වෙයිද මිදුණේ වෙයිද, “මහණෙනි, ඉදින් සංඥා ධාතුවෙහි භික්ෂුවගේ හිත දැඩිකොට අල්වා නොගෙන ආශ්රවයන්ගෙන් නොඇලුණේ වෙයිද, මිදුනේ වෙයිද, මහණෙනි, ඉදින් සංස්කාර ධාතුවෙහි භික්ෂුවගේ හිත දැඩිකොට අල්වා නොගෙන ආශ්රවයන්ගෙන් නොඇලුණේ වෙයිද, මිදුනේ වෙයිද, මහණෙනි, ඉදින් විඤ්ඤාණ ධාතුවෙහි භික්ෂුවගේ සිත දැඩිකොට අල්වානොගෙන ආශ්රවයන්ගෙන් නොඇලුණේ වෙයිද, මිදුණේ වෙයිද, “මිදුනු හෙයින් (මතු කළයුතු කිසක් නැති හෙයින්) සිටියේ වෙයි. සිටි හෙයින් සතුටු වෙයි. සතුටුවූ හෙයින් බිය නොවෙයි. බිය නොවන තැනැත්තේ මේ ආත්මයෙහිම පිරිනිවන් පායි. ජාතිය ක්ෂය විය. බ්රහ්මචර්ය්යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.”