1. 1. 4. 10.
10. අනුධර්ම සූත්‍රය
42. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, නවලොකොත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙහි පිළිගන්නාවූ භික්ෂුවහට මේ අනුකූල ධර්මයවේ.
රූපය අනාත්ම වශයෙන් දකිමින් වාසයකරන්නේය යන යමක්වේද, වේදනාව අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේය යන යමක් වේද සංඥාව අනාත්ම වශයෙන් දකිමින් වාසයකරන්නේය යන යමක්වේද, සංස්කාරයන් අනාත්ම වශයෙන් දකිමින් වාසයකරන්නේය යන යමක්වේද, විඤ්ඤාණය අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේය යන යමක් වේද, යන අනුකූල ධර්මයයි. “හෙතෙම රූපය අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේ, වේදනාව අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේ, සංඥාව අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේ, සංස්කාරයන් අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේ, විඤ්ඤාණය අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේ, රූපය පිරිසිඳ දනී. වේදනාව පිරිසිඳ දනී. සංඥාව පිරිසිඳ දනී. සංස්කාරයන් පිරිසිඳ දනී. විඤ්ඤාණය පිරිසිඳ දනී. “හෙතෙමේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ සංස්කාරයන් පිරිසිඳ දන්නේ විඤ්ඤාණය පිරිසිඳ දන්නේ රූපය කෙරෙන් මිදෙයි. වේදනාව කෙරෙන් මිදෙයි. සංඥාව කෙරෙන් මිදෙයි. සංස්කාරයන් කෙරෙන් මිදෙයි. විඤ්ඤාණය කෙරෙන් මිදෙයි. ජාතියෙන්ද ජරාමරණයෙන්ද, සෝකයන්ගෙන්ද, පරිදෙවයන්ගෙන්ද, දුක් දොම්නස්වලින්ද, දැඩි වෙහෙසින්ද, මිදෙයි. සියළු දුක්වලින් මිදේයයි කියමි.”
සතරවෙනි නතුම්හාක වර්ගය නිමි
එහි උද්දානය:
මේ වර්ගයේ නතුම්හාක සූත්‍ර දෙකක්ද, භික්ඛු යන අන්‍යසූත්‍ර දෙකක්ද, අනඳ තෙරුන් නිසා සූත්‍ර දෙකක්ද, අනුධර්ම සූත්‍ර සතරක්ද වෙත්.
5. අත්තදීප වර්ගය
1. 1. 5. 1.
අත්තදීප සූත්‍රය
43. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, ධර්මය තමාට පහනක් කොට ගෙන ධර්මය තමාට පිහිට කොට ගෙන අන්‍ය පිහිටක් නැත්තෝව වාසය කරව්. ධර්මය පහනක් කොට ගෙන, ධර්මය පිහිට කොට ගෙන අන්‍ය පිහිටක් නැත්තෝව වාසය කරව්.
“මහණෙනි, තමා පහනක් කොට ගෙන, තමා පිහිට කොටගෙන අන් පිහිටක් නැත්තෝව ධර්මය පහනක් කොට ගෙන, ධර්මය පිහිටකොට ගෙන, අන් පිහිටක් නැතිව වාසය කරන්නවුන්ගේ හේතුව, කාරණය සෙවිය යුතුයි. කුමක් හේතුකොට ගෙන සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ පවතිද්ද, කුමකින් හටගන්නාහුද යනුවෙනි.
“මහණෙනි, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ කුමක් හේතුකොට ගෙන උපදින්නාහුද, කුමකින් පහළවන්නාහුද?
“මහණෙනි, මේ ශාසනයෙහි බොහෝ ඇසූ පිරූ තැන් නැති ආර්‍ය්‍යයන් නොදක්නාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නොවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නොවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ, පෘථග්ජනතෙමේ රූපය තමා වශයෙන් දකියි. තමා රූපවත්යයි හෝ දකියි. රූපය තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. ඔහුගේ ඒ රූපය වෙනස්වෙයි. අන් ආකාරයකට පැමිණෙයි. ඔහුගේ ඒ රූපය වෙනස්වීමෙන් හා අන් අයුරකට පැමිණීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ උපදිත්.
“වේදනාව තමා වශයෙන් දකියි. තමා වේදනාවත්යයි හෝ දකියි වේදනාව තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා වේදනාව කෙරෙහි හෝ ඇතැයි දකියි. ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. අන් ආකාරයකට පැමිණෙයි. ඔහුගේ ඒ වේදනාව වෙනස්වීමෙන් හා අන් අයුරකට පැමිණීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ උපදිත්. “සඤ්ඤාව තමා වශයෙන් දකියි. තමා සඤ්ඤාවත්යයි හෝ දකියි. සඤ්ඤාව තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා සඤ්ඤාව කෙරෙහි හෝ ඇතැයි දකියි. ඔහුගේ ඒ සඤ්ඤාව වෙනස්වෙයි. අන් ආකාරයකට පැමිණෙයි. ඔහුගේ ඒ සඤ්ඤාව වෙනස්වීමෙන් හා අන් ආකාරයකට පැමිණීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ උපදිත්. “සංස්කාරයන් තමා වශයෙන් දකියි. තමා සංස්කාරවත් යයි හෝ දකියි. සංස්කාර තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා සංස්කාරයන් කෙරෙහි හෝ ඇතැයි දකියි. ඔහුගේ ඒ සංස්කාරයන් වෙනස්වෙයි. අන් ආකාරයකට පැමිණෙයි. වෙනස්වීමෙන් අන් ආකාරයකට පැමිණීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ උපදිත්.
“විඤ්ඤාණය තමා වශයෙන් දකියි. තමා විඤ්ඤාණවත් යයි හෝ දකියි. විඤ්ඤාණය තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා විඤ්ඤාණය කෙරෙහි හෝ ඇතැයි දකියි. ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනස්වෙයි. අන් ආකාරයකට පැමිණෙයි. ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනස්වීමෙන් හා අන් ආකාරයකට පැමිණීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ උපදිත්.