1. 1. 3. 1.
1. භාර සූත්‍රය
22. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි තොපට බරද, බර ගෙනයන්නාද, බර ඉසිලීමද, බර බහා තැබීමද, දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. දේශනා කරන්නෙමි”යි වදාළසේක. “එසේය, ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, බර නම් කවරේද? ඊට උපාදානස්කන්ධ පසයයි කියයුතුය. කවර පසක්ද? එනම්:- රූප උපාදානස්කන්ධය, වේදනාඋපාදානස්කන්ධය, සඤ්ඤාඋපාදානස්කන්ධය, සංස්කාරඋපාදානස්කන්ධය, විඤ්ඤාණඋපාදානස්කන්ධය යනුයි. මහණෙනි, මේ බරයයි කියනු ලැබේ.
“මහණෙනි, බර ගෙන යන්නා නම් කවරෙක්ද? ඔහුට පුද්ගලයායයි කිය යුතුය. මෙබඳු නමක් ඇත්තාවූ හෝ මෙබඳු ගොත්‍ර ඇත්තාවූ හෝ යම් ඒ ආයුෂ්මතෙක් වෙයිද, මහණෙනි, මේ තැනැත්තා බර ගෙනයන්නායයි කියනු ලැබේ.
“මහණෙනි, බර ඉසිලීම නම් කවරේද? නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ, ඇලීමෙන් යුක්තවූ, ඒ ඒ භවයෙහි ඇලෙන්නාවූ, යම් ඒ තෘෂ්ණාවක් වේද? එනම්:- කාම තණ්හාවය, භව තණ්හාවය, විභව තණ්හාවය යන මොහුයි. මහණෙනි, මේ බර ඉසිලීමයයි කියනු ලැබේ.
“මහණෙනි, බර බහා තැබීම කවරේද? ඒ තණ්හාවගේ යම් මුළුමනින්ම නිරුද්ධ කිරීමක්, අත්හැරීමක්, දුරලීමක් මිදීමක්, නොඇල්මක් වේද? මහණෙනි, මේ බර බහාතැබීමයයි කියනු ලැබේ.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය මෙසේ වදාරා, සුගත නම්වූ ශාස්තෲන් වහන්සේ නැවත මෙසේ වදාළ සේක.
“ලෝකයෙහි බර නම් ඒකාන්තයෙන්ම පඤ්චස්කන්ධයෝය, බර ගෙන යන්නා නම් පුද්ගලයාය. බර ඉසිලීම නම් දුකය. බර බහා තැබීම සැපය නම් වේ.
“මහත්වූ බර බහා තබා, අන් බරක් නොගෙන, මුල් සහිතවූ, තෘෂ්ණාව උදුරා, තෘෂ්ණා රහිතවූයේ පිරිනිවියේය.”
1. 1. 3. 2.
2. පරිඤ්ඤා සූත්‍රය
23. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, පිරිසිඳ දැනගත යුතුවූ, ධර්මයන්ද, පිරිසිඳ දැනගැනීමද, දේශනා කරමි. එය අසව්.
මහණෙනි, පිරිසිඳ දැනගත යුතු ධර්මයෝ කවරහුද?
මහණෙනි, රූපය පිරිසිඳ දැනගතයුතු ධර්මයකි. වේදනාව පිරිසිඳ දැනගත යුතු ධර්මයකි. සඤ්ඤාව පිරිසිඳ දැනගතයුතු ධර්මයකි. සංස්කාරයෝ පිරිසිඳ දැනගතයුතු ධර්මයකි. විඤ්ඤාණය පිරිසිඳ දැනගතයුතු ධර්මයකි. මහණෙනි, මේ පිරිසිඳ දැනගතයුතු ධර්මයෝයයි කියනු ලැබේ.
“මහණෙනි, පිරිසිඳ දැනගැනීම කවරේද?
මහණෙනි, රාගය ක්ෂය කිරීමද, ද්වේෂය ක්ෂය කිරීමද, මෝහය ක්ෂය කිරීමද, මෙය පිරිසිඳ දැනීමයයි කියනු ලැබේ.”
1. 1. 3. 3.
3. අභිජාන සූත්‍රය
24. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට නොදන්නා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොදන්නාවූ මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් නොදන්නාවූ පුද්ගල තෙමේ දුක් කෙළවර කිරීමට නුසුදුස්සෙකි. “වේදනාස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට නොදන්නාවූ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොදන්නාවූ මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් නොදන්නාවූ පුද්ගල තෙමේ දුක් කෙළවර කිරීමට නුසුදුස්සෙකි. “සංඥාස්කන්ධය බෙදා වෙන් කර ගැනීමට නොදන්නාවූ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොදන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් නොදන්නාවූ පුද්ගලතෙම දුක් කෙළවර කිරීමට නුසුදුස්සෙකි. “සංස්කාරස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට නොදන්නාවූ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොදන්නාවූ මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් නොදන්නාවූ පුද්ගලතෙමේ දුක් කෙළවර කිරීමට නුසුදුස්සෙකි. “විඥානස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට නොදන්නාවූ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොදන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් නොදන්නාවූ, පුද්ගලතෙමේ දුක් කෙළවර කිරීමට නුසුදුස්සෙකි.
“මහණෙනි, රූපස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට දන්නාවූ, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් දන්නාවූ, පුද්ගලතෙමේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වන්නේය. “වේදනාස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට දන්නාවූ, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් දන්නාවූ, පුද්ගලතෙමේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වන්නේය. “සංඥාස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට දන්නාවූ, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් දන්නාවූ, පුද්ගලතෙමේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වන්නේය. “සංස්කාරස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට දන්නාවූ, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් දන්නාවූ, පුද්ගලතෙමේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වන්නේය. “විඥානස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට දන්නාවූ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් දන්නාවූ පුද්ගල තෙමේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වන්නේය.
1. 1. 3. 4.
4. ඡන්දරාග සූත්‍රය
25. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපස්කන්ධයෙහි යම් (ඡන්ද රාගයක්) ආලයක් ඇද්ද, එය දුරු කරව්. එසේ කිරීමෙන් ඒ රූපය පහ කරන ලද්දේ, මුල් සිඳින ලද්දේ, සිඳිනලද තල් ගසක් මෙන් කරන ලද්දේ, නැතිකරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇතියක් වන්නේය.
“වේදනාවේ යම් ආලයක් ඇද්ද එය දුරු කරව්. එසේ කිරීමෙන් ඒ වේදනාව පහකරන ලද්දේ, මුල් සිඳින ලද්දේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ නැතිකරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇතියක් වන්නේය.
“සංඥාවේ යම් ආලයක් ඇද්ද එය දුරු කරව්. එසේ කිරීමෙන් ඒ සංඥාව පහකරනලද්දේ, මුල් සිඳිනලද්දේ, සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දේ, නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාව කොට ඇතියක් වන්නේය. “සංස්කාරයන්හි යම් ඇලීමක් වේද, එය දුරු කරව්. එසේ කිරීමෙන් සංස්කාරයෝ පහ කරන ලද්දාහු. මුල් සිඳින ලද්දාහු. සිඳින ලද තල්ගසක් මෙන් කරණ ලද්දාහු. නැතිකරන ලද්දාහු, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තාහු වන්නාහුය.
“විඤ්ඤාණයාගේ යම් ආලයක් ඇද්ද, එය දුරු කරව්. එසේ කිරීමෙන් විඤ්ඤාණය පහකරන ලද්දේ, මුල් සිඳින ලද්දේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, නැතිකරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇතියක් වන්නේය.”