1. 1. 2. 8.
8. හේතු සූත්රය
19. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපය දුකය. රූපයේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්රත්යවේද, එයද දුකය. දුක්වූ හේතුවෙන් හටගත් රූපය කෙසේ සැපවත් වන්නේද? “වේදනාව දුකය. වේදනාවේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්රත්යවේද, එයද දුකය. දුක්වූ හේතුවෙන් හටගත් වේදනාව කෙසේ සැපවත් වන්නේද? “සඤ්ඤාව දුකය. සංඥාවේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්රත්යවේද, එයද දුකය. දුක්වූ හේතුවෙන් හටගත් සංඥාව කෙසේ සැපවත් වන්නේද? “සංස්කාර දුකය. සංස්කාරයන්ගේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්රත්යවේද, එයද දුකය. දුක්වූ හේතුවෙන් හටගත් සංස්කාර කෙසේ සැපවත් වන්නේද? “විඤ්ඤාණය දුකය, විඤ්ඤාණයාගේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්රත්යවේද, එයද දුකය, දුක්වූ හේතුවෙන් හටගත් විඤ්ඤාණය කෙසේ සැපවත් වන්නේද?”
“මහණෙනි, මෙසේ දකින්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය්යශ්රාවකතෙම රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇති වෙයි. ජාතිය (ඉපදීම) ක්ෂය විය. බ්රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළ යුත්ත කරනලදී. මේ ආත්ම භාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැනගනියි.
1. 1. 2. 9.
9. හේතු සූත්රය
20. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, රූපය අනාත්මය. රූපයේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්රත්යවේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් රූපය කෙසේ ආත්මය වන්නේද? “වේදනාව අනාත්මය. වේදනාවේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්රත්යවේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් වේදනාව කෙසේ ආත්මය වන්නේද? “සඤ්ඤාව අනාත්මය, සංඥාවේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්රත්යවේද, එයද අනාත්මය. මහණෙනි අනාත්මවූ හේතුවෙන් හටගත් සංඥාව කෙසේ ආත්මය වන්නේද? “සංස්කාර අනාත්මය, සංස්කාරයන්ගේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්රත්යවේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් සංස්කාර කෙසේ ආත්මය වන්නේද? “විඤ්ඤාණය අනාත්මය, විඤ්ඤාණයේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්රත්යය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් විඤ්ඤාණය කෙසේ ආත්මය වන්නේද?
“මහණෙනි, බොහෝ ඇසූ පිරූතැන් ඇති ආර්ය්ය ශ්රාවකතෙමේ රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සඤ්ඤාවෙහිද කළකිරෙයි. සංස්කාරයන්හිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන ඥානය ඇතිවෙයි. ජාතිය ක්ෂය විය. බ්රහ්මචර්ය්යාවෙහි වැස නිමවන ලදී. කළයුත්ත කරණලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.”
1. 1. 2. 10.
10. ආනන්ද සූත්රය
21. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්යවතුන් වහන්සේ යම්තැනකද එතැනට එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ආනන්ද ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, නිරෝධය නිරෝධයයි කියයි. කවර ධර්මයන්ගේ නිරෝධයෝ නිරෝධයයි කියනු ලැබේද?” යනුයි.
“ආනන්දය, රූපය අනිත්යය, හේතු ප්රත්යයන් විසින් ඇතිකරනලදී. හේතුප්රත්ය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාවකොට ඇත්තේය. විනාශවීම ස්වභාවකොට ඇත්තේය. නොඇලීම ස්වභාවකොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ඒ රූපයාගේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ. “වේදනාව අනිත්යය. හේතුප්රත්යයන් විසින් ඇති කරනලදී. හේතුප්රත්ය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාවකොට ඇත්තේය. විනාශවීම ස්වභාවකොට ඇත්තේය. නොඇලීම ස්වභාවකොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාව කොට ඇත්තේය. ඒ වේදනාවගේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ. “සඤ්ඤාව අනිත්යය හේතුප්රත්යයන් විසින් ඇතිකරන ලදී. හේතු ප්රත්ය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාව කොට ඇත්තේය. විනාශ වීම ස්වභාවකොට ඇත්තේය නොඇලීම ස්වභාව කොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාව කොට ඇත්තේය. ඒ සංඥාවේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ. “සංස්කාරය අනිත්යය. හේතුප්රත්යයන් විසින් ඇති කරනලදී. හේතුප්රත්යය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාව කොට ඇත්තේය. විනාශවීම ස්වභාවකොට ඇත්තේය. නොඇලීම ස්වභාවකොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාව කොට ඇත්තේය. ඒ සංස්කාරයාගේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ. “විඤ්ඤාණය අනිත්යය, හේතු ප්රත්යයන් විසින් ඇති කරන ලදී. හේතුප්රත්ය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාවකොට ඇත්තේය. විනාශවීම ස්වභාවකොට ඇත්තේය. නොඇලීම ස්වභාවකොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ඒ විඤ්ඤාණයාගේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ.
“ආනන්දය, මෙසේ මේ ධර්මයන්ගේ නිරෝධය නිරෝධයයි කියනු ලැබේ.”
දෙවෙනිවූ අනිත්ය වර්ගයයි.
එහි උද්දානය:
අනිච්ච දුක්ඛ අනත්ත යන සූත්ර තුනද, අන්යවූ යදනිච්ච යංදුක්ඛ යදනත්ත යන සූත්ර තුනද, හේතූ සූත්ර තුනද වදාළහ. ආනන්ද සූත්රයෙන් වර්ගය සම්පූර්ණ විය.