1. 1. 2. 5.
5. යංදුක්ඛ සූත්‍රය
16. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපය දුකය. යමක් දුක නම් එය අනාත්මය, යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවෙයි. යන මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. වේදනාව දුකය යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. සඤ්ඤාව දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. සංස්කාර දුකය. යමක් දුකනම් එය අනාත්මය, යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුය. විඤ්ඤාණය දුකය යමක් දුකනම් එය අනාත්මය, යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙසේ එය ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුයි.
“මහණෙනි, මෙසේ දකින්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනුකල්හි මිදුනේය යන දැනීම ඇතිවෙයි. ජාතිය (ඉපදීම) ක්ෂයවිය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.
1. 1. 2. 6.
6. යදනත්ත සූත්‍රය
17. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුය. “වේදනාව අනාත්මය, යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුයි. “සඤ්ඤාව අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුය. “සංස්කාර අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුයි. “විඤ්ඤාණය අනාත්මය, යමක් අනාත්මනම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුයි.
“මහණෙනි, මෙසේ දකින්නාවූ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇති වෙයි. ජාතිය (ඉපදීම) ක්ෂය විය. බ්‍රහ්ම චාරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ ආත්ම භාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැනගනියි.
1. 1. 2. 7.
7. හේතු සූත්‍රය
18. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි’යි කියා භික්ෂූන්හට කථාකළ සේක. ‘ස්වාමීනි’යි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපය අනිත්‍යයි. රූපයේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් රූපය කෙසේ නිත්‍ය වන්නේද? “වේදනාව අනිත්‍යයි. වේදනාව ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් වේදනාව කෙසේ නිත්‍ය වන්නේද? “සඤ්ඤාව අනිත්‍යයි සංඥාවේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් සංඥාව කෙසේ නිත්‍ය වන්නේද? “සංස්කාර අනිත්‍යයි. සංස්කාරයන්ගේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් සංස්කාර කෙසේ නිත්‍යවන්නේද? “විඤ්ඤාණය අනිත්‍යයි. විඤ්ඤාණයේ ඉපදීම පිණිස යමක්හේතුවේද යමක් ප්‍රත්‍යවේද?’ එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් විඤ්ඤාණය කෙසේ නිත්‍ය වන්නේද?”
“මහණෙනි, මෙසේ දකින්නාවූ, බොහෝ ඇසූපිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇතිවෙයි. ජාතිය (ඉපදීම) ක්ෂයවිය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.
1. 1. 2. 8.
8. හේතු සූත්‍රය
19. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපය දුකය. රූපයේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද දුකය. දුක්වූ හේතුවෙන් හටගත් රූපය කෙසේ සැපවත් වන්නේද? “වේදනාව දුකය. වේදනාවේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද දුකය. දුක්වූ හේතුවෙන් හටගත් වේදනාව කෙසේ සැපවත් වන්නේද? “සඤ්ඤාව දුකය. සංඥාවේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද දුකය. දුක්වූ හේතුවෙන් හටගත් සංඥාව කෙසේ සැපවත් වන්නේද? “සංස්කාර දුකය. සංස්කාරයන්ගේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද දුකය. දුක්වූ හේතුවෙන් හටගත් සංස්කාර කෙසේ සැපවත් වන්නේද? “විඤ්ඤාණය දුකය, විඤ්ඤාණයාගේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද දුකය, දුක්වූ හේතුවෙන් හටගත් විඤ්ඤාණය කෙසේ සැපවත් වන්නේද?”
“මහණෙනි, මෙසේ දකින්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇති වෙයි. ජාතිය (ඉපදීම) ක්ෂය විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළ යුත්ත කරනලදී. මේ ආත්ම භාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැනගනියි.
1. 1. 2. 9.
9. හේතු සූත්‍රය
20. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, රූපය අනාත්මය. රූපයේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් රූපය කෙසේ ආත්මය වන්නේද? “වේදනාව අනාත්මය. වේදනාවේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් වේදනාව කෙසේ ආත්මය වන්නේද? “සඤ්ඤාව අනාත්මය, සංඥාවේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනාත්මය. මහණෙනි අනාත්මවූ හේතුවෙන් හටගත් සංඥාව කෙසේ ආත්මය වන්නේද? “සංස්කාර අනාත්මය, සංස්කාරයන්ගේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් සංස්කාර කෙසේ ආත්මය වන්නේද? “විඤ්ඤාණය අනාත්මය, විඤ්ඤාණයේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් විඤ්ඤාණය කෙසේ ආත්මය වන්නේද?
“මහණෙනි, බොහෝ ඇසූ පිරූතැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සඤ්ඤාවෙහිද කළකිරෙයි. සංස්කාරයන්හිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන ඥානය ඇතිවෙයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලදී. කළයුත්ත කරණලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.”
1. 1. 2. 10.
10. ආනන්ද සූත්‍රය
21. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, නිරෝධය නිරෝධයයි කියයි. කවර ධර්මයන්ගේ නිරෝධයෝ නිරෝධයයි කියනු ලැබේද?” යනුයි.