1. 1. 2. 3.
3. අනත්ත සූත්‍රය
14. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපය අනාත්මයි, වේදනාව අනාත්මයි, සඤ්ඤාව අනාත්මයි, සංස්කාර අනාත්මයි. විඤ්ඤාණය අනාත්මයි, මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කළකිරෙයි. සංඥාවෙහිද කළකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇතිවෙයි. ජාතිය (ඉපදීම) ක්ෂයවිය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.”
1. 2. 4.
4. යදනිච්ච සූත්‍රය
15. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපය අනිත්‍යයි. යමක් අනිත්‍යනම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි.” මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.
වේදනාව අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකය, යමක් දුකනම් එය අනාත්මය, යමක් අනාත්ම නම් “එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේය. මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. සඤ්ඤාව අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. සංස්කාර අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුකනම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. විඤ්ඤාණය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුකනම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ රූපයෙහිද කළකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයෙහිද කලකිරෙයි, විඤ්ඤාණයෙහිද කලකිරෙයි, කලකිරීමෙන් නොඇලෙයි, නොඇලීමෙන් මිදෙයි, මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇතිවෙයි. ජාතිය (ඉපදීම) ක්ෂය විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.
1. 1. 2. 5.
5. යංදුක්ඛ සූත්‍රය
16. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපය දුකය. යමක් දුක නම් එය අනාත්මය, යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවෙයි. යන මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. වේදනාව දුකය යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. සඤ්ඤාව දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. සංස්කාර දුකය. යමක් දුකනම් එය අනාත්මය, යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුය. විඤ්ඤාණය දුකය යමක් දුකනම් එය අනාත්මය, යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙසේ එය ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුයි.
“මහණෙනි, මෙසේ දකින්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනුකල්හි මිදුනේය යන දැනීම ඇතිවෙයි. ජාතිය (ඉපදීම) ක්ෂයවිය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.
1. 1. 2. 6.
6. යදනත්ත සූත්‍රය
17. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුය. “වේදනාව අනාත්මය, යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුයි. “සඤ්ඤාව අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුය. “සංස්කාර අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුයි. “විඤ්ඤාණය අනාත්මය, යමක් අනාත්මනම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුයි.
“මහණෙනි, මෙසේ දකින්නාවූ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇති වෙයි. ජාතිය (ඉපදීම) ක්ෂය විය. බ්‍රහ්ම චාරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ ආත්ම භාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැනගනියි.
1. 1. 2. 7.
7. හේතු සූත්‍රය
18. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි’යි කියා භික්ෂූන්හට කථාකළ සේක. ‘ස්වාමීනි’යි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපය අනිත්‍යයි. රූපයේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් රූපය කෙසේ නිත්‍ය වන්නේද? “වේදනාව අනිත්‍යයි. වේදනාව ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් වේදනාව කෙසේ නිත්‍ය වන්නේද? “සඤ්ඤාව අනිත්‍යයි සංඥාවේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් සංඥාව කෙසේ නිත්‍ය වන්නේද? “සංස්කාර අනිත්‍යයි. සංස්කාරයන්ගේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් සංස්කාර කෙසේ නිත්‍යවන්නේද? “විඤ්ඤාණය අනිත්‍යයි. විඤ්ඤාණයේ ඉපදීම පිණිස යමක්හේතුවේද යමක් ප්‍රත්‍යවේද?’ එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් විඤ්ඤාණය කෙසේ නිත්‍ය වන්නේද?”
“මහණෙනි, මෙසේ දකින්නාවූ, බොහෝ ඇසූපිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇතිවෙයි. ජාතිය (ඉපදීම) ක්ෂයවිය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.