1. 1. 2. 10.
10. ආනන්ද සූත්‍රය
21. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, නිරෝධය නිරෝධයයි කියයි. කවර ධර්මයන්ගේ නිරෝධයෝ නිරෝධයයි කියනු ලැබේද?” යනුයි.
ආනන්දය, රූපය අනිත්‍යය, හේතුප්‍රත්‍යයන් විසින් ඇති කරන ලද්දේය, හේතුප්‍රත්‍යයන් නිසා හටගත්තේය, නැසීම ස්වභාව කොට ඇත්තේය, විනාශවීම ස්වභාව කොට ඇත්තේය, නොඇලීම ස්වභාව කොට ඇත්තේය, නිරුද්ධවීම ස්වභාව කොට ඇත්තේය. ඒ රූපයේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ. වේදනාව අනිත්‍යය, හේතුප්‍රත්‍යයන් විසින් ඇති කරන ලද්දේය, හේතුප්‍රත්‍යයන් නිසා හටගත්තේය, නැසීම ස්වභාව කොට ඇත්තේය, විනාශවීම ස්වභාව කොට ඇත්තේය, නොඇලීම ස්වභාව කොට ඇත්තේය, නිරුද්ධවීම ස්වභාව කොට ඇත්තේය. ඒ වේදනාවේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ. සංඥාව අනිත්‍යය, හේතුප්‍රත්‍යයන් විසින් ඇති කරන ලද්දේය, හේතුප්‍රත්‍යයන් නිසා හටගත්තේය, නැසීම ස්වභාව කොට ඇත්තේය, විනාශවීම ස්වභාව කොට ඇත්තේය, නොඇලීම ස්වභාව කොට ඇත්තේය, නිරුද්ධවීම ස්වභාව කොට ඇත්තේය. ඒ සංඥාවේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ. සංස්කාරයෝ අනිත්‍යයහ, හේතුප්‍රත්‍යයන් විසින් ඇති කරන ලද්දාහුය, හේතුප්‍රත්‍යයන් නිසා හටගත්තාහුය, නැසීම ස්වභාව කොට ඇත්තාහුය, විනාශවීම ස්වභාව කොට ඇත්තාහුය, නොඇලීම ස්වභාව කොට ඇත්තාහුය, නිරුද්ධවීම ස්වභාව කොට ඇත්තාහුය. ඒ සංස්කාරයන්ගේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ. විඤ්ඤාණය අනිත්‍යය, හේතුප්‍රත්‍යයන් විසින් ඇති කරන ලද්දේය, හේතුප්‍රත්‍යයන් නිසා හටගත්තේය, නැසීම ස්වභාව කොට ඇත්තේය, විනාශවීම ස්වභාව කොට ඇත්තේය, නොඇලීම ස්වභාව කොට ඇත්තේය, නිරුද්ධවීම ස්වභාව කොට ඇත්තේය. ඒ විඤ්ඤාණයේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ.
“ආනන්දය, මෙසේ මේ ධර්මයන්ගේ නිරෝධය නිරෝධයයි කියනු ලැබේ.”
දෙවෙනිවූ අනිත්‍ය වර්ගයයි.
එහි උද්දානය:
අනිච්ච දුක්ඛ අනත්ත යන සූත්‍ර තුනද, අන්‍යවූ යදනිච්ච යංදුක්ඛ යදනත්ත යන සූත්‍ර තුනද, හේතූ සූත්‍ර තුනද වදාළහ. ආනන්ද සූත්‍රයෙන් වර්ගය සම්පූර්ණ විය.