1. 1. 1. 8.
දුතිය උපාදාපරිතස්සනා සූත්‍රය
8. සැවැත්නුවර–
මහණෙනි, උපාදාපරිතස්සනාව ද (දැඩිසේ ගැනීමෙන් වන භයද) දේශනා කරන්නෙමි. අනුපාදා අපරිතස්සනාව ද (දැඩිසේ නොගැනීමෙන් වන නිර්භයද) දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි.
මහණෙනි, උපාදාපරිතස්සනාව (දැඩිසේ ගැනීමෙන් වන භය) කෙසේ වෙයිද:
මහණෙනි, මේ ලෝකයෙහි අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ මේ රූපය මගේය මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි රූපය දකියිද ඔහුගේ ඒ රූපය වෙනස්වෙයි. අන් ආකාරයකට පෙරළෙයි. ඕහට රූපයාගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරලීම නිසා සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.
මේ වේදනාව මගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි වේදනාව දකියිද, ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. පෙරලෙයි. ඕහට වේදනාව වෙනස්වීම පෙරලීම හේතුකොට ගෙන ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්. මේ සංඥාව මගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි. සංඥාව දකියිද, ඔහුගේ ඒ සංඥාව වෙනස් වෙයි. පෙරළෙයි. ඔහුට සංඥාවේ වෙනස්වීම, පෙරලීම හේතු කොට ගෙන සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්. මේ සංස්කාරයෝ මගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි සංස්කාරයන් දකියිද, ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනස් වෙත්. පෙරළෙත්. ඕහට සංස්කාරයන්ගේ වෙනස්වීමෙන් පෙරළීමෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්. මේ විඥානයෝ මගේය මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි විඥානය දකියිද, ඒ විඥානය වෙනස් වෙයි. පෙරළෙයි. ඕහට විඥානයාගේ වෙනස්වීමෙන් පෙරළීමෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.
මහණෙනි, මෙසේ වනාහි උපාදාපරිතස්සනාව (ගැනීම හේතුකොටගෙන භය) ඇතිවෙයි.
මහණෙනි, කෙසේනම් අනුපාදාඅපරිතස්සනාව (දැඩිව නොගැනීම හේතු කොට ගෙන නිර්භය) වේද:
මහණෙනි, මේ ලෝකයෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ මෙය මාගේ නොවේය. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ යයි රූපය දකියි ඔහුගේ ඒ රූපය වෙනස්වෙයි. පෙරළෙයි. ඕහට රූපයාගේ වෙනස්වීමෙන් පෙරලීමෙන් සෝක, පරිදේව, දුක් දොම්නස් සහ උපායාසයෝ නූපදිත්. මෙය මගේ නොවේය මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි වේදනාව දකියිද ඔහුගේ ඒ වේදනාව වෙනස්වෙයි. පෙරළෙයි. ඔහුට වේදනාවගේ වෙනස්වීමෙන්, පෙරළීමෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්. මෙය මගේ නොවේය. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි සංඥාව දකියිද, ඔහුගේ ඒ සංඥාව වෙනස්වෙයි පෙරළෙයි. ඔහුට සංඥාවේ වෙනස්වීමෙන් පෙරලීමෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්. මෙය මගේ නොවේය. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි සංස්කාරයන් දකියිද? ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනස්වෙත්. පෙරළෙත්. ඕහට සංස්කාරයන්ගේ වෙනස්වීමෙන්, පෙරලීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්. මෙය මගේ නොවෙයි මෙය මම නොවෙමි මෙය මාගේ ආත්මය නොවේයයි විඥානය දකියිද ඔහුගේ ඒ විඥානය වෙනස් වෙයි. පෙරළෙයි. ඕහට විඥානයාගේ වෙනස්වීමෙන්, පෙරළීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.
මහණෙනි, මෙසේ වනාහි අනුපාදාඅපරිතස්සනාව (දැඩිව නොගැනීමෙන් නිර්භය ඇති) වේයයි.
1. 1. 1. 9.
පඨම අතීතානාගත සූත්‍රය
9. සැවැත්නුවර–
මහණෙනි, අතීත අනාගත රූපය අනිත්‍යයයි. දැන් පවත්නා රූපය ගැන කියනුම කවරේද? මහණෙනි, දැන් පවත්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අතීතවූ රූපයෙහි අපේක්ෂා රහිතවේ. අනාගත රූපය නොපතන්නේ වෙයි. දැන් පවත්නා රූපය පිළිබඳ කලකිරීම පිණිසද නො ඇලීම පිණිසද, නිරෝධය පිණිසද, පිළිපන්නේ වෙයි. අතීත, අනාගතවූ වේදනාව අනිත්‍යයයි දැන් පවත්නා වේදනාව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ අතීතවූ වේදනාවෙහි අපේක්ෂා රහිතවෙයි. අනාගත වේදනාව ප්‍රාර්ථනා නොකරයි. දැන් පවත්නා වේදනාව පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද, පිළිපන්නේ වෙයි. අතීතඅනාගතවූ සංඥාව අනිත්‍යයි. දැන් පවත්නා සංඥාව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අතීත සංඥාවෙහි බලාපොරොත්තු නැත්තේ වෙයි. අනාගත සංඥාව ප්‍රාර්ථනා නොකරන්නේ වෙයි. දැන් පවත්නා සංඥාව පිළිබඳ කලකිරීම පිණිසද, නො ඇලීම පිණිසද, නිරෝධය පිණිසද, පිළිපන්නේ වෙයි. අතීත අනාගත සංස්කාරයෝ අනිත්‍යයහ. දැන් පවත්නා සංස්කාරයන් පිළිබඳ කියනුම කවරේද? මහණෙනි, මෙසේ දකින්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අතීතවූ සංස්කාරයන් කෙරෙහි අපේක්ෂා රහිත වෙයි. අනාගත සංස්කාරයන් ප්‍රාර්ථනා නොකරයි. දැන් පවත්නා සංස්කාරයන් පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද පිළිපන්නේ වෙයි. අතීත අනාගත විඥානය අනිත්‍යයි. දැන් පවත්නා විඥානය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අතීතවූ විඥානයෙහි අපේක්ෂා රහිතවෙයි. අනාගත විඥානය ප්‍රාර්ථනා නොකරයි. දැන් පවත්නා විඥානය පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද පිළිපන්නේවේයයි.
1. 1. 1. 10.
දුතිය අතීතානාගත සූත්‍රය
10. සැවැත්නුවර–
මහණෙනි, අතීත අනාගත රූපය දුකයි. දැන් පවත්නා රූපය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දකින්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අතීතවූ රූපයෙහි අපෙක්ෂා රහිතවෙයි. අනාගත රූපය ප්‍රාර්ථනා නොකරයි. දැන් පවත්නා රූපයාගේ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද, පිළිපන්නේ වෙයි. මහණෙනි, අතීත අනාගතවූ, වේදනාව, දුකයි. දැන් පවත්නා වේදනාව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ අතීත වේදනාවෙහි බලාපොරොත්තු නැත්තේ වෙයි. අනාගත වේදනාව ප්‍රාර්ථනා නොකරන්නේ වෙයි දැන් පවත්නා වේදනා පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද පිළිපන්නේවෙයි. මහණෙනි, අතීත අනාගතවූ සංඥාව දුකයි. දැන් පවත්නා සංඥාව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අතීත සංඥාව බලාපොරොත්තු නැත්තේ වෙයි. අනාගත සංඥාව ප්‍රාර්ථනා නොකරන්නේ වෙයි. වර්තමාන සංඥාව පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද පිළිපන්නේ වෙයි. මහණෙනි, අතීත අනාගතවූ සංස්කාර දුකයි. දැන් පවත්නා සංස්කාර ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අතීත සංස්කාර බලාපොරොත්තු නැත්තේවෙයි. අනාගත සංස්කාර ප්‍රාර්ථනා නොකරන්නේවෙයි. දැන් පවත්නා සංස්කාර පිළිබඳ කලකිරීම පිණිසද, නො ඇලීම පිණිසද, නිරෝධය පිණිසද පිළිපන්නේ වෙයි. අතීත අනාගත විඥානය දුකයි දැන් පවත්නා විඥානය ගැන කියනුම කවරේද? මහණෙනි මෙසේ දකින්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම අතීත විඥානයෙහි අපේක්ෂා රහිත වෙයි. අනාගත විඥානය ප්‍රාර්ථනා නොකරයි. විඥානයාගේ කලකිරීම පිණිසද, නො ඇලීම පිණිසද, නිරෝධය පිණිසද පිළිපන්නේ වේයයි.
1. 1. 1. 11.
තතිය අතීතානාගත සූත්‍රය
11. සැවැත්නුවර–
මහණෙනි, අතීත, අනාගත රූපය අනාත්මයි. දැන් පවත්නා රූපය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දකින්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ අතීත වූ රූපයෙහි අපෙක්ෂා රහිත වෙයි. අනාගත රූපය ප්‍රාර්ථනා නොකරයි. දැන් පවත්නා රූපයාගේ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද පිළිපන්නේ වෙයි. මහණෙනි, අතීත අනාගතවූ වේදනාව අනාත්මයි. දැන් පවත්නා වේදනාව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අතීත වේදනාවෙහි බලාපොරොත්තු නැත්තේ වෙයි. අනාගත වේදනාව ප්‍රාර්ථනා නොකරන්නේවෙයි දැන් පවත්නා වේදනාව පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද, පිළිපන්නේ වෙයි. මහණෙනි, අතීත අනාගතවූ සංඥාව අනාත්මයි. දැන් පවත්නා සංඥාව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ අතීත සංඥාවෙහි බලාපොරොත්තු නැත්තේ වෙයි. අනාගත සංඥාව ප්‍රාර්ථනා නොකරන්නේ වෙයි. දැන් පවත්නා සංඥාව පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද පිළිපන්නේ වෙයි.