8. 1. 3.
කුල සූත්රය
385. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්සේ වනාහි බොහෝ ස්ත්රීන් ඇත්තාවූ, ස්වල්ප පුරුෂයන් ඇත්තාවූ, යම්කිසි කුලයෝ වෙත්ද, ඒ කුලයෝ කුම්භත්ථෙනක (කළයක පහන් දල්වාගෙන ගොස් සොරකම් කරන) සොරුන් විසින් පහසුවෙන් පෙළිය හැක්කාහු වෙති. මහණෙනි, එසේම වනාහි යම්කිසි භික්ෂුවක් විසින් මෛත්රී භාවනා සමාධිය නොවඩන ලද්දේ, නැවත නැවත භාවිතා නොකරන ලද්දේ වේද, ඒ මහණතෙම අමනුෂ්යයන් විසින් පහසුවෙන් පෙළිය හැක්කේ වෙයි.
“මහණෙනි, යම්සේ වනාහි ස්වල්ප ස්ත්රීන් ඇත්තාවූ, බොහෝ පුරුෂයන් ඇත්තාවූ, යම්කිසි කුලයෝ වෙත්ද, ඒ කුලයෝ කුම්භත්ථෙනක සොරුන් විසින් පහසුවෙන් නොපෙළිය හැක්කාහු වෙති. මහණෙනි, එසේම වනාහි යම්කිසි භික්ෂුවක් විසින් මෛත්රී භාවනා සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ වේද, ඒ මහණතෙම අමනුෂ්යයන් විසින් පහසුවෙන් නොපෙළිය හැක්කේ වෙයි.
මහණෙනි, එනිසා මෙහිදී, මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘අප විසින් මෛත්රී භාවනා සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ, යානාවක් මෙන් කරන ලද්දේ, වස්තුවක් මෙන් කරන ලද්දේ, එළඹ සිටින ලද්දේ, පුරුදු කරන ලද්දේ, මනාකොට පටන්ගන්නා ලද්දේ වන්නේය.’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
8. 1. 4.
ඔක්ඛාසත සූත්රය
386. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යමෙක් පෙරවරු (උදේ) කාලයෙහි (ප්රණීත භෝජනයන්ගෙන් පිරවූ) මහා සැළි සියයක් දන් දෙන්නේ වේද, යමෙක් මැදියම් කාලයෙහි (ප්රණීත භෝජනයන් ගෙන් පිරවූ) මහ සැළි සියයක් දන් දෙන්නේ වේද, යමෙක් සවස් කාලයෙහි (ප්රණීත භෝජනයන්ගෙන් පිරවූ) මහ සැළි සියයක් දන්දෙන්නේ වේද, යමෙක් පෙරවරු (උදේ) කාලයෙහි යටත්පිරිසෙයින් දෙනගේ තනයෙන් කිරි පීරක් දොවින පමණ කාලයකුදු ‘මෙත් සිත’ වඩන්නේ වේද, යමෙක් මැදියම් කාලයෙහි යටත්පිරිසෙයින් දෙනගෙන් කිරි පීරක් දොවින පමණ කාලයකුදු ‘මෙත්සිත’ වඩන්නේ හෝ වේද, යමෙක් සවස් කාලයෙහි යටත් පිරිසෙයින් දෙනගෙන් කිරි පීරක් දොවින පමණ කාලයකුදු ‘මෙත්සිත’ වඩන්නේ හෝ වේද, මෙය මුලින් කී දානයට වඩා මහත්ඵල ඇත්තේ වෙයි.
මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘අපගේ මෛත්රී සහගත සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ යානාවක් මෙන් කරන ලද්දේ, වස්තුවක් මෙන් කරන ලද්දේ, එළඹ සිටින ලද්දේ, මනාකොට පටන්ගන්නා ලද්දේ වන්නේය’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
8. 1. 5.
සත්ති සූත්රය
387. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්සේ වනාහි තියුණු තලයකින් යුක්තවූ ආයුධයක් වේද, ඉක්බිති පුරුෂයෙක් එන්නේය. (අවුත්) ‘මම මේ ආයුධය අතින් හෝ මිටින් හෝ අගින් (අල්ලා) දෙකට නමන්නෙමි. මැදින් දෙකට නමන්නෙමි. නැවත දිග හරින්නෙමියි කියයි’ නම් මහණෙනි, ඒ කිමැයි සිතන්නහුද? ඒ පුරුෂතෙම මේ තියුණු තලයෙකින් යුක්තවූ ආයුධය අතින් හෝ මිටින් හෝ ගසා, අගින් (අල්ලා) දෙකට නැමීමට හෝ මැදින් දෙකට නැමීමට හෝ නැවත දිගහැරීමට හෝ සුදුසු (හැකි) වන්නේද?” “ස්වාමීනි, එය නොවේමය.” “ඊට හේතුව කවරේද?” “ස්වාමීනි, මේ ආයුධය වනාහි තියුණු තලයකින් යුක්ත වූයේය. අතින් හෝ මිටින් හෝ ගසා අගින් (ගෙන) දෙකට නැමීමට හෝ මැදින් දෙකට නැමීමට හෝ නැවත දිගහැරීමට හෝ පහසු නොවේ. යම්තාක් (ඒ සඳහා උත්සාහ කරයිද) ඒතාක් ඒ පුරුෂතෙම වෙහෙසීමේ, විපතට පත්වීමේ කොටස්කාරයෙක් වන්නේය.”
“මහණෙනි, එසේම වනාහි යම්කිසි භික්ෂුවක් විසින් මෛත්රී සහගත සමාධිය වඩනලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ, යානාවක් මෙන් කරන ලද්දේ, වස්තුවක් මෙන් කරන ලද්දේ, එළඹසිටින ලද්දේ, මනාකොට පටන් ගන්නා ලද්දේ වේ. ඉදින් ඒ මහණහුගේ සිත කැලඹීමට යම් අමනුෂ්යයෙක් සිතන්නේ නම්, ඉක්බිති ඒ අමනුෂ්යයා තෙමේම වෙහෙසීමේ විපතට පත්වීමේ කොටස්කාරයෙක් වන්නේය.’
“මහණෙනි, එනිසා මෙහිදී, මෙසේ හික්මිය යුතු යි (කෙසේද?) ‘අපගේ මෛත්රී සහගත සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ, යානාවක් මෙන් කරන ලද්දේ, වස්තුවක් මෙන් කරන ලද්දේ, එළඹසිටින ලද්දේ, මනාකොට පටන් ගන්නා ලද්දේ වන්නේය’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
8. 1. 6.
ධනුග්ගහ සූත්රය
388. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්සේ වනාහි (දස දොළොස් වර්ෂයක්, ආචාර්ය්ය කුලයෙහි ඉගෙනගන්නාලද ශිල්ප ඇත්තාවූ) බොහෝ කාලයක් මුළුල්ලෙහි පුහුණු කරන ලද්දාවූ, රාජ කුලාදියෙහිදී දක්වනලද ශිල්ප ඇත්තාවූ, (පුරුෂයින් දෙදහසක) ශක්තියෙන් යුක්තවූ, දුනු දරන්නාවූ සතර දෙනෙක් සතර දිසාවෙහි සිටියාහු වෙත්ද, ඉක්බිති පුරුෂයෙක් එන්නේය. (අවුත්) ‘ඉගෙණගන්නාලද, ශිල්ප ඇත්තාවූ බොහෝ කාලයක් මුළුල්ලෙහි පුහුණු කරන ලද්දාවූ, රාජ කුලාදියෙහිදී දක්වනලද ශිල්ප ඇත්තාවූ, (පුරුෂයින් දෙදහසක) ශක්තියෙන් යුක්තවූ, දුනු දරන්නාවූ සතර දෙනෙක් සතර දිගින් විදිනලද හී පොළොවෙහි නොපිහිටි කල්හිම අල්ලාගෙන එන්නෙමියි’ කියන්නේ නම්, මහණෙනි, කෙසේ සිතන්නහුද? ජව වේගයෙන් යුක්තවූ, ඒ පුරුෂතෙම කෙළ පැමිණි ජවවේගයෙන් යුක්තවූයේයයි කීමට සුදුසු වෙයිද?”
“ස්වාමීනි, (දස දොළොස් වර්ෂයක් මුළුල්ලෙහි) ඉගෙන ගන්නාලද ශිල්ප ඇත්තාවූ, බොහෝ කාලයක් මුළුල්ලෙහි පුහුණු කරන ලද්දාවූ, රාජකුලාදියෙහිදී දක්වනලද ශිල්ප ඇත්තාවූ, (පුරුෂයින් දෙදහසක) ශක්තියෙන් යුක්තවූ, දුනු දරන්නාවූ එකකු විසින් විදිනලද හීය පොළොවෙහි නොපිහිටි කල්හි අල්ලාගෙන එන්නේ නම්, ජවවේගයෙන් යුක්තවූ ඒ පුරුෂ තෙමේය කෙළපැමිණි ජවවේගයෙන් යුක්තවූයේයයි කීමට සුදුසුය. (දස දොළොස් වර්ෂයක් මුළුල්ලෙහි) ඉගෙන ගන්නාලද ශිල්ප ඇත්තාවූ, බොහෝ කාලයක් මුළුල්ලෙහි පුහුණු කරන ලද්දාවූ, රාජකුලාදියෙහිදී දක්වනලද ශිල්ප ඇත්තාවූ, (පුරුෂයින් දෙදහසක) ශක්තියෙන් යුක්තවූ දුනු දරන්නාවූ, සතරදෙනෙකු විසින් විදිනලද හී අල්ලාගෙන එන්නේනම් ඔහුගේ ජවවේගය ගැන කියනුම කවරේද?”