8. 1. 1.
කූට සූත්රය
383. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, යම්සේ වනාහි කූටාගාරයක (කුළුගෙයක) යම්කිසි ගොනැසි (පරාල) වෙත්ද, ඒ සියල්ල මුදුනට ගමන් කළාහු, මුදුන හා එක්වූවාහු වෙත්ද, මුදුන බිඳීයාමෙන් ඒ සියල්ල විනාශයට යෙත්ද, මහණෙනි, එසේම වනාහි යම්කිසි අකුශල මූලයෝ වෙත්ද, ඒ සියල්ලම අවිද්යාවට ගමන් කරන්නාහු, අවිද්යාවට එක්වන්නාහු, අවිද්යාවට සම්බන්ධ වන්නාහු වෙත්. අවිද්යාව නැසීම හේතුකොටගෙන ඒ සියල්ලද විනාශයට යෙත්.
මහණෙනි, එහෙයින් මෙහිදී තොප විසින් මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘අප්රමාදව වාසය කරමු’ කියායි. මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
8. 1. 2.
නඛසිඛා සූත්රය
384. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති භාග්යවතුන්වහන්සේ නියපිට පස් ස්වල්පයක් තබාගෙන භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, ඒ කුමැයි සිතන්නහුද? මා විසින් යම් මේ නියපිට තබනලද පස් ස්වල්පයද, මේ මහපොළොවද යන දෙකින් කුමක් වනාහි වඩා ලොකු වෙයිද?”
“ස්වාමීනි, යම් මේ මහපොළොවක්වේද, එයම වඩා ලොකුවෙයි. භාග්යවතුන්වහන්සේ විසින් නියපිටට ගන්නාලද මේ පස් ස්වල්පය ඉතා සුළුය. භාග්යවතුන්වහන්සේ විසින් නියපිටට ගන්නාලද පස් ස්වල්පය මහපොළොව හා සසඳා බලන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම වනාහි (මිනිසත් බැවින් චුතව) මිනිසුන් කෙරෙහි නැවත උපදින යම් සත්වයෝ වෙත්ද, ඔවුහු ස්වල්ප වෙත්. එහෙත් මිනිස් ලොවින් අන්යවූ සතර අපායයෙහි නැවත උපදින යම් සත්වයෝ වෙත්ද, ඔවුහුම ඉතා අධික වෙති.
මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි (කෙසේද?) ‘අප්රමාදව වාසය කරමු’ කියායි. මහණෙනි තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
8. 1. 3.
කුල සූත්රය
385. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්සේ වනාහි බොහෝ ස්ත්රීන් ඇත්තාවූ, ස්වල්ප පුරුෂයන් ඇත්තාවූ, යම්කිසි කුලයෝ වෙත්ද, ඒ කුලයෝ කුම්භත්ථෙනක (කළයක පහන් දල්වාගෙන ගොස් සොරකම් කරන) සොරුන් විසින් පහසුවෙන් පෙළිය හැක්කාහු වෙති. මහණෙනි, එසේම වනාහි යම්කිසි භික්ෂුවක් විසින් මෛත්රී භාවනා සමාධිය නොවඩන ලද්දේ, නැවත නැවත භාවිතා නොකරන ලද්දේ වේද, ඒ මහණතෙම අමනුෂ්යයන් විසින් පහසුවෙන් පෙළිය හැක්කේ වෙයි.
“මහණෙනි, යම්සේ වනාහි ස්වල්ප ස්ත්රීන් ඇත්තාවූ, බොහෝ පුරුෂයන් ඇත්තාවූ, යම්කිසි කුලයෝ වෙත්ද, ඒ කුලයෝ කුම්භත්ථෙනක සොරුන් විසින් පහසුවෙන් නොපෙළිය හැක්කාහු වෙති. මහණෙනි, එසේම වනාහි යම්කිසි භික්ෂුවක් විසින් මෛත්රී භාවනා සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ වේද, ඒ මහණතෙම අමනුෂ්යයන් විසින් පහසුවෙන් නොපෙළිය හැක්කේ වෙයි.
මහණෙනි, එනිසා මෙහිදී, මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘අප විසින් මෛත්රී භාවනා සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ, යානාවක් මෙන් කරන ලද්දේ, වස්තුවක් මෙන් කරන ලද්දේ, එළඹ සිටින ලද්දේ, පුරුදු කරන ලද්දේ, මනාකොට පටන්ගන්නා ලද්දේ වන්නේය.’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
8. 1. 4.
ඔක්ඛාසත සූත්රය
386. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යමෙක් පෙරවරු (උදේ) කාලයෙහි (ප්රණීත භෝජනයන්ගෙන් පිරවූ) මහා සැළි සියයක් දන් දෙන්නේ වේද, යමෙක් මැදියම් කාලයෙහි (ප්රණීත භෝජනයන් ගෙන් පිරවූ) මහ සැළි සියයක් දන් දෙන්නේ වේද, යමෙක් සවස් කාලයෙහි (ප්රණීත භෝජනයන්ගෙන් පිරවූ) මහ සැළි සියයක් දන්දෙන්නේ වේද, යමෙක් පෙරවරු (උදේ) කාලයෙහි යටත්පිරිසෙයින් දෙනගේ තනයෙන් කිරි පීරක් දොවින පමණ කාලයකුදු ‘මෙත් සිත’ වඩන්නේ වේද, යමෙක් මැදියම් කාලයෙහි යටත්පිරිසෙයින් දෙනගෙන් කිරි පීරක් දොවින පමණ කාලයකුදු ‘මෙත්සිත’ වඩන්නේ හෝ වේද, යමෙක් සවස් කාලයෙහි යටත් පිරිසෙයින් දෙනගෙන් කිරි පීරක් දොවින පමණ කාලයකුදු ‘මෙත්සිත’ වඩන්නේ හෝ වේද, මෙය මුලින් කී දානයට වඩා මහත්ඵල ඇත්තේ වෙයි.
මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘අපගේ මෛත්රී සහගත සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ යානාවක් මෙන් කරන ලද්දේ, වස්තුවක් මෙන් කරන ලද්දේ, එළඹ සිටින ලද්දේ, මනාකොට පටන්ගන්නා ලද්දේ වන්නේය’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”