7. 2. 4.
මඞ්ගුලිත්ථි සූත්‍රය
375. ඇවැත්නි, මෙහි මම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ අහසින් යන, දුගඳ හමන, විරූප වූ පිළිකුල් ස්ත්‍රියක දුටුවෙමි. ගිජුලිහිණියෝද කවුඩෝද උකුස්සෝද ඇය පසුපස ලුහුබැඳ ලුහුබැඳ කොටා කති, ඉරා කති. ඕ තොමෝ බැගෑපත් හඬ නඟයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ ස්ත්‍රිය මේ රජගහ නුවරම පේන කියන්නියක් (යක්දෙහි කම් කරන්නියක්) වූවාය -පෙ- මෙබඳු ආත්මභාවයක් ලැබීම විඳින්නී යැයි වදාළ සේක.
7. 2. 5.
ඔකිලිනී සූත්‍රය
376. ඇවැත්නි, මෙහි මම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ අහසින් යන, ගින්නෙන් පැසුණු සිරුර ඇති, ඩහදිය වැගිරෙන, ගිනි අඟුරුවලින් හාත්පස වටවුණු ස්ත්‍රියක දුටුවෙමි. ඕ තොමෝ බැගෑපත් හඬ නඟයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ ස්ත්‍රිය කාලිඞ්ග රජතුමාගේ අගමෙහෙසිය වූවාය. ඕ තොමෝ ඊර්ෂ්‍යාවෙන් මඩනා ලදුව සැතිරිය (සැමියාගේ අනෙක් බිරිය) මත අඟුරු කබලකින් ගිනි අඟුරු ඉසියාය -පෙ- මෙබඳු ආත්මභාවයක් ලැබීම විඳින්නී යැයි වදාළ සේක.
7. 2. 6.
අසීසක සූත්‍රය
377. ඇවැත්නි, මෙහි මම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ අහසින් යන හිස නැති කඳක් (කබන්ධයක්) දුටුවෙමි. එහි පපුවෙහි ඇස්ද මුවද වෙයි. ගිජුලිහිණියෝද කවුඩෝද උකුස්සෝද ඔහු පසුපස ලුහුබැඳ ලුහුබැඳ කොටා කති, ඉරා කති. හෙතෙම බැගෑපත් හඬ නඟයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්වයා මේ රජගහ නුවරම හාරිත නම් සොරුන් මරන්නෙක් (චෝරඝාතකයෙක්) විය -පෙ- මෙබඳු ආත්මභාවයක් ලැබීම විඳින්නේ යැයි වදාළ සේක.
7. 2. 7.
භික්ඛු සූත්‍රය
378. ඇවැත්නි, මෙහි මම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ අහසින් යන භික්ෂුවක් දුටුවෙමි. ඔහුගේ දෙපට සිවුරද (සඟළද) ඇවිළී, දැල්වී, ගිනිදැල් සහිත විය. පාත්‍රයද ඇවිළී, දැල්වී, ගිනිදැල් සහිත විය. ඉඟ පටියද ඇවිළී, දැල්වී, ගිනිදැල් සහිත විය. කයද ඇවිළී, දැල්වී, ගිනිදැල් සහිත විය. හෙතෙම බැගෑපත් හඬ නඟයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ භික්ෂුව කස්සප සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි පවිටු භික්ෂුවක් විය -පෙ- මෙබඳු ආත්මභාවයක් ලැබීම විඳින්නේ යැයි වදාළ සේක.
7. 2. 8.
භික්ඛුණී සූත්‍රය
379. ඇවැත්නි, මෙහි මම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ අහසින් යන භික්ෂුණියක දුටුවෙමි. ඇගේ දෙපට සිවුරද ඇවිළී -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ භික්ෂුණිය කස්සප සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි පවිටු භික්ෂුණියක් වූවාය -පෙ- මෙබඳු ආත්මභාවයක් ලැබීම විඳින්නී යැයි වදාළ සේක.