7. 2. 10.
සාමණේර සූත්‍රය
381. ඇවැත්නි, මෙහි මම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ අහසින් යන සාමණේරයෙකු දුටුවෙමි. ඔහුගේ දෙපට සිවුරද ඇවිළී -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සාමණේරයා කස්සප සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි පවිටු සාමණේරයෙක් විය -පෙ- මෙබඳු ආත්මභාවයක් ලැබීම විඳින්නේ යැයි වදාළ සේක.
7. 2. 11.
සාමණේරී සූත්‍රය
382. ඇවැත්නි, මෙහි මම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ අහසින් යන සාමණේරියක දුටුවෙමි. ඇගේ දෙපට සිවුරද ඇවිළී, දැල්වී, ගිනිදැල් සහිත විය. පාත්‍රයද ඇවිළී, දැල්වී, ගිනිදැල් සහිත විය. ඉඟ පටියද ඇවිළී, දැල්වී, ගිනිදැල් සහිත විය. කයද ඇවිළී, දැල්වී, ගිනිදැල් සහිත විය. ඕ තොමෝ බැගෑපත් හඬ නඟයි. ඇවැත්නි, එවිට මට මේ අදහස විය: “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්යයකි. පින්වත්නි, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳු සත්වයෙකුත් වන්නේය. මෙබඳු අමනුෂ්‍යයෙකුත් (යක්ෂයෙකුත්) වන්නේය. මෙබඳු ආත්මභාවයක් ලැබීමකුත් වන්නේය” කියායි. [-පෙ-]
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, යම් හෙයකින් ශ්‍රාවකයෙක් මෙබන්දක් දනියිද, දකියිද, සාක්ෂාත් කරයිද, (එහෙයින්) මහණෙනි, ශ්‍රාවකයෝ ඒකාන්තයෙන් ඇස් ඇතිව වාසය කරති. මහණෙනි, ශ්‍රාවකයෝ ඒකාන්තයෙන් ඤාණය ඇතිව වාසය කරති. මහණෙනි, ඒ සාමණේරිය මා විසින් පෙරදීම දක්නා ලද්දී වූවාය. එහෙත් මම එය ප්‍රකාශ නොකළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කළෙම් නම් අන්‍යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම් එය ඔවුනට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස වන්නේය.”
“මහණෙනි, ඕතොමෝ කස්සප සම්මා සම්බුදුන්ගේ ශාසනයෙහි පාප සාමණේරියක් වූවාය. ඕතොමෝ ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්ම භාවයක් ලැබීම විඳිනු ලබන්නීයයි” වදාළසේක.
දෙවෙනි වර්ගය නිමි.
එහි උද්දානය:
අසූචි වලෙහි ගිලුනාවූ ඒ ප්‍රේතතෙම වනාහි අන් අඹුවන් කරා යන්නෙක් විය. එසේම ගූථඛාදී ප්‍රේතතෙම දුෂ්ඨ බ්‍රාහ්මණයෙක් විය. සිවිය නැති ස්ත්‍රිය (ප්‍රේතිය) අතිචාරිණියක් (සිය සැමියා ඉක්මවා හැසිරෙන්නියක්) වූවාය. පිළිකුල් කටයුතුවූ ස්ත්‍රිය පේන කියන්නියක් වූවාය. ඩහදිය වැගිරෙන්නාවූ ස්ත්‍රිය අන් ස්ත්‍රියකට අඟුරු කබලෙන් ගැසුවාය. කවන්ධ ප්‍රේතතෙම චෝරඝාතකයෙක් විය. භික්ඛු, භික්ඛුණී, සික්ඛමානා, සාමණේර, සාමණේරී, ප්‍රේත, ප්‍රේතියෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි මහණව ඒ කාලයෙහි පව්කම් කළාහුය.
ලක්ඛණ සංයුත්තය නිමි.