4. 1. 9.
ඣානාභිඤ්ඤා සූත්‍රය
292. සැවැත්නුවර– මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මම යම්තාක්කල් කැමැති වෙම්ද, ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කැමැති වෙයිද, ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද, ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, හිතේ එකඟ බව ඇති කරන්නාවූ, විතර්ක රහිතවූ විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, හිතේ එකඟ බව ඇති කරන්නාවූ විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමතිවෙම්ද ඒතාක් ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසයකරමි. සිහියෙන් යුක්තවූයේ කයින් වින්දෙමි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වනද්ධ්‍යානයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයි. සිහියෙන් යුක්තවූයේ කයින් විඳියි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වනද්ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ද්ධ්‍යානයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් සැපය නැති කිරීමෙන් දුක් නැති කිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ද්ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන්, පටිඝ ගැටීම් සංඥාවන් නැති කිරීමෙන්, නානත්ත සංඥාවන් මෙනෙහි නො කිරීමෙන් ‘ආකාසය අනන්තයයි’ ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම් තාක් කල් කැමැතිවෙයිද, ඒතාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් පටිඝ ගැටීම් සංඥාවන් නැතිකිරීමෙන් නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාසය අනන්තයයි’ ආකාසානඤ්චායතනයට පැමිණ, වාසය කරයි.
‘මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, ‘විඤ්ඤාණය’ අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, ‘විඤ්ඤාණය අනන්තයයි’ විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කාශ්‍යප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ, වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරයි.